Pages

Saturday, March 22, 2014

පොඩි තාක්ෂණික දෝශයක් ගැන ලිපියක්

ඔන්න යාලුවනේ මේ පෝස්ට් එකනම් අපේ හුරුපුරුදු මාතෘකා සම්බන්ධ එකක් නෙවෙයි. ඒක් මේ ලඟදි ඉඳලා මට බ්ලොග් එක භාවිතයේදී ඇතිවන යම් තාක්ෂණික දෝශයක් සම්බන්ධවයි. මේ ලිපිය පලකරන්න හිතුවේ අපේ අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන්ටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා දැනගන්නයි. 

ප්‍රශ්නය මේකයි. මම පුරුදු විදිහටම ඔයාලගේ බ්ලොග් කියවන අතරතුරේ බ්ලොග් කීපයකට සම්බන්ධ වෙන්න උත්සහ කළා "Follow  " ගැජට් එක හරහා. නමුත් ටික දවසක ඉඳලා දිගටම පහත සඳහන් " Error message " එක එනවා මේ විදිහට "Follow " කරන්න ගියහම.

\\    We're sorry...

We were unable to handle your request. Please try again or return a bit later.  \\


මමනම් හිතන්නේ මේක "Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න පුලුවන් කියලා. ඒත් ඒක සැකහැර දැනගන්නයි ඔයාලගෙන් අහන්න හිතුවේ ඔයාලටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා. එහෙම මේ ප්‍රශ්නයම ඔයාලටත් තියෙනවානම් මේක " Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේක මගේ බ්ලොග් එකේ විතරක් තියෙන එකක්නම් මගේ බ්ලොග් එකේ තාක්ෂණික දෝශයක් වෙන්න පුලුවන් කියලයි හිතෙන්නේ. ඔයාලටත් මෙහෙම ප්‍රශ්නයක් ලඟකදි ඉඳලා තියෙනවානම් මෙ ලිපියට කමෙන්ට් එකක් දාන්න.

ස්තුතියි.

Tuesday, March 18, 2014

ස්ත්‍රී ලිංගිකත්වය පැහැදිලිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට පිරිමින් අපහාස කළයුතුද?


පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධි ඇසුරෙන් ලිංගික කුහකත්වය ගැන උද්වේගකර ලෙස කරුනු ඉදිරිපත් කළෙමි. බොහෝ කරුණු ලිපි වලට එක් කළේ ඇතැම් විට සිතට ආ කේන්තියද යටපත් කරගනිමින්ය. මෙවරත් කතා කිරීමට යන්නේ කිසිවෙක් කිසිවිට කතා කිරීමට ඉදිරිපත් නොවන මෙන්ම එසේ ඉදිරිපත් වුවත් විවුර්තව කරුණු කීමට පැකිලෙන මාතෘකාවක් සම්බන්ධයෙනි.
                    මේ ලෝකයේ ගැහැනු හා පිරිමි ලෙස ලිංග දෙකක් ජීවී සංහතියටම ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඇයි? එයිනුත් ගැහැනු සත්වයෙක් හා පිරිමි සත්වයෙකු ලෙස ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව ලෝකය තුල එකිනෙකාගේ ලිංගිකත්වයට ආවේනික විශේෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ ඇයි? එයින්ද ඉහල බුද්ධියක් හා සංකීර්ණ මනෝභාවයක් ඇති මිනිස් වර්ගයා තුල ගැහැනු පිරිමි ලිංගික අනන්‍යතාවයන් ශාරීරිකව පමණක් නොව මානසිකවද දෙබින්න වී කැපී පෙනෙන්නේ ඇයි? මේ සියල්ල ස්වභාවධර්මයෙන් ඉදිරියට වර්ධනය කරනුලැබූ ප්‍රභල ලක්ෂණ වේ. ලිංගිකත්වය යන්න ප්‍රජනන අවශ්‍යතාවය සඳහාම ස්වභාවධර්මයෙන් ජීවී සංහතියට දායාද වන්නකි. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. ගැහැනු හා පිරිමි වශයෙන් ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව කාණ්ඩ වල ප්‍රජනනයේදී පුරුෂ හා ස්ත්‍රී බීජ සෛල එක්වීමටනම් සතුන් දෙදෙනා ලිංගිකව එක්වියයුතුය. ඒ ලිංගික සංසර්ගය තුලිනි. ඒ ක්‍රියාවලිය ක්‍රමවත්ව ගෙනයෑමට ස්වභාවධර්මයෙන්ම යෙදෙන උපක්‍රමය වන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති කිරීමයි. ඇත්තෙන්ම ගැහැනු හා පිරිමි ජීවීන් තුල සත්ව ලෝකයේ දක්නට ඇති විශේෂිත ලක්ෂණ පිහිටන්නේ මේ ක්‍රියාවලිය ඉලක්ක කරගෙනයි. මිනිස් සංහතිය ගැන කතා කිරීමේදී සංකීර්ණ මනෝභවයන්ද ඇතුලුව ඒ හරහා ගොඩනැගෙන විරුද්ධ ලිංගික ආකර්ෂණය අරුමයක්ද? එය එසේ වන්නේද ගැහැනු හා පිරිමි වශයෙන් ලිංගික සංසර්ගය හරහා දෙපාර්ශවය එක් කිරීමටත් ප්‍රජනන ක්‍රියාවලියටත් අවශ්‍ය යාන්ත්‍රනය ලෙසයි.


                                දැන් එම ආකෘතිය අනුව මිනිස් ප්‍රජාවේ සමාජ සංස්කෘතික ගොඩනැගීම් සලකා බලමු. ඕනෑම ජන සමාජයක් තුල මානව ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ ලෙස දෙභින්න වී ලිංගික විශේෂනයන් අනුව වර්ගීකරනයකට ලක් වීම සිදුවන්නේ ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාගේ ලිංගිකත්වය වෙන් වෙන්ව කේන්ද්‍රීය වන ලෙසයි. ඒ තුල විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික ක්‍රියාවලියත් ප්‍රජනනයත් ගැබ්වී තිබේ. කිසිවෙකුටත් එය එසේ නොවේ යැයි කිව නොහැක. ගැහැනු හෝ පිරිමි කවරෙකු හෝ වේවා විරුද්ධ ලිංගිකයන් හඳුනාගන්නා සුවිශේෂී ස්වභාවයක් ඕනෑම සමාජ පරිසරයක් තුල දක්නට ඇත. ගැහැනු හෝ පිරිමි කවරෙක් වුවත් සිය විරුද්ධ ලිංගිකයා හඳුනාගන්නේ තම ලිංගිකත්වය තුල දක්නට නැති ප්‍රති විරුද්ධ ලිංගිකත්වයට ආවේනික ශාරීරික හා මානසික ස්වභාවයන් ඇසුරෙනි. එහිදී එකිනෙකාට තම විරුද්ධ ලිංගිකත්වය ප්‍රසන්න දෙයක් වන ආකාරයට මිනිස් සමාජ ගොඩනැගීම සැකසී තිබීම සාමන්‍ය දෙයකි. මා කලින් ලිපි වලද පෙන්වාදුන් ලිංගික කුහකත්වය සමාජයක වැරදි වටිනාකමක් ලබාගෙන ඔඩුගියකල මේ කිසිවක් විවුර්ත භාවයකින් යුතුව පිළිගැනීමට මැලිකමක් ඒ සමාජය තුලින්ම ජනනය වේ. පුරුෂ ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ ස්වරූපය වන ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව නිරූපනය කරන කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයන් මුල්කරගෙන ගැරහීමට හා අපහාසයට ලක්වීමද මෙහි එක් ප්‍රතිඵලයකි.
                                කුහකකම් පැත්තක තබා විවුර්ත භාවයකින් යුතුව මේ සමාජ තත්වය දෙස අප බලන්නේනම් එයින් අප කොපමණ මුලාවකට ඇදවැටෙන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය, ඇය තවත් පුරුෂයෙකු නොවේ. කාන්තාවන් ඕනෑම මානව ජන සමූහයක් තුල ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කළයුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගයයි. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඔවුන්ගේ පැවැත්ම ස්ත්‍රීන් හැටියට ගොඩනගා ගැනීමටයි. එහිදී ඔවුන් තම විරුද්ධ ලිංගිකත්වය වන පුරුෂ ලිංගිකත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්කර හඳුනාගතයුතු වනවා මෙන්ම පුරුෂ ලිංගිකත්වයට සමාඅන්තරව ස්ත්‍රී අන්න්‍යතාවයක් ගොඩනගා ගතයුතුවේ. එමෙන්ම පුරුෂයාට ලිංගික වශයෙන් ප්‍රසන්න වීමත් පිරිමින් ලිංගිකව ආකර්ෂණය කර ගැනීමත් කාන්තාවන්ගේ ජීවිතයේ ප්‍රමුඛ අංග වේ. ඔවුන්ටද පිරිමින්ට මෙන්ම ලිංගික ආශ්වාදය හා තෘප්තිය අවශ්‍යය දරුවන් හැදීමේ අවශ්‍යතාවයද කාන්තාවන්ටත් ස්වභාවයෙන් පිහිටයි. පිරිමි සහකරුවකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම ස්වභාවික හැඟීම් දැනීම් අවශ්‍යතා ඇති කාන්තාවන් කාගේත් ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නේ මෙලෙසිනි. මේ කරුනු කාරනා කෙලින් පිළිගන්නවාට වඩා කුහකත්වයේ මානසික ලෙඩින් පෙළෙන්නන් කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගික ස්වභාවයටම ගැරහීම මහා ලොකු හපන්කමක් යැයි සිතති. 
         
                             සම්ප්‍රදායික කුහක සුදනන් සිරිතක් ලෙස කාන්තා ඇඳුම් විලාසිතා වලට බැනවදිමින් මෝඩ තෘප්තියක් ලබන ආකාරය අප දැක ඇත්තෙමු. ඇතමෙකු කොට ගවුම අල්ලාගෙන එයින් කකුල් පෙන්වන කාන්තාවන් සමාජයේදී ඔවුන් අපහාසුතාවයන්ට පත්කරවන බවට අඩපාලි කියන්නේ යටි හිතෙන් ඊට කැමැත්තක්ද දක්වමිනි. කාන්තාවන් හෝ ගැහැනු ළමුන් කොටට ඇඳීම ඔවුන්ට ගැටලුවක් උනත් ඔවුන් එසේ කරන්නේ අහේතුවකට නොවේ. එයට කැමති පිරිමින් කොටසක්ද සමාජයේම ඇත. එයට බැනවදින පිරිසද එයින් තමන්ට ප්‍රසන්න හැඟීමක් ඇතිකරන බව හිත යටින් දනිති. පුරුෂයා ලිංගික වශයෙන් ආකර්ෂනය කරගන්නා පිරිමින්ට ලිංගික වශයෙන් ප්‍රසන්න හැඟීම් දැනීම් ඇතිකරවන දේ කිරීමට කාන්තාවන් ස්වභාවයෙන් කැමැත්තක් දක්වති. එය එසේ නොවන්නේනම් ඔවුන් මිනිස් වර්ගයට අයත් ගැහැනු මිනිස් ජීවීන්ද නොවෙති. තම ලිංගික ස්වභාවයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ඒ සමග එකට ජීවත් වීමට කාන්තාවන්ගෙන් වැඩි පිරිසකට තිබෙන හැකියාව පිරිමින් විසින් අගය කළයුත්තක් විනා ගැරහීමට ලක්කළයුත්තක් නොවේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන කුහක මෝඩයන් ඔවුන්ගේ බොරු ලැජ්ජාව මහා ලොකු වටිනා දෙයක් යැයි සිතීම සියල්ලට වඩා හෙනයකි. ඔවුන් කාන්තාවන්ටද තම ස්ත්‍රී ස්වභාවයන්ට පිටුපාමින් ස්ත්‍රී විශේෂනයන් නැතිකරගෙන මානසිකව පුරුෂභාවය තුලට යෑමට අනුබල දෙන්නේ එසේ කිරීමෙන් කාන්තාවන්ට වීර චරිත වීමට හැකිවන බවක්ද අඟවමිනි.  කුහකත්වයන් වැඩි සමාජ වල මෙවැනි කුහක පිරිමින් ප්‍රභූත්වයක් හා ව්‍යාජ ප්‍රබුද්ධකමක් ඈඳාගැනීම ඉමහත් විනාශකාරී මෙන්ම අවාසනාවන්ත තත්වයකි.  

                               අද බොහෝ දෙනෙක් නූතන සමාජයේ දියුණුව ගැන නොයෙක් දේ හතර වටින් ඇසුනද ලිංගික කුහකත්වයන් නම් අඩුවන බවක් පෙනෙන්නට නැත. බටහිර රටවල ලිංගික නිදහසක් මහා පරිමාණයෙන් ඇතැයි කීවද එයද සත්‍ය නොවේ. ඇත්තේ ලිංගිකත්වයම විකාරයක් වූ සමාජ පසුතලයකි. එහි ලිංගිකත්වය යන්නෙහි සැබෑ යහගුණයන් හඳුනාගැනීමට පුලුවන්කමක් නැත. වර්තමාන සමාජය හැම අතින්ම දියුණු යැයි සිතන මුලාවට නොයා මානව ඉතිහාසයේ කිසියම් අතීත අවධියක කවර ජනසමූහයක් තුල හෝ ලිංගික කුහ්කත්වයන් මත ගොඩනැගෙන දුර්වලකම් දක්නට නැති, එමෙන්ම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය හඳුනාගනිමින් එය මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට උපරිම හැකියාවක් තිබූ අවස්ථාවක් හඳුනා ගතහැකිනම්, ඒ තුලින් හෝ නිවැරදි ආදර්ශයක් වර්තමාන සමාජයට ආදේශ කරගතයුතුය. ස්ත්‍රී ලිංගිකත්වයට ගැරහීමද ඒ තුල නොතිබියයුතු වේ. ලිංගිකත්වය හා ලිංගික ජීවිත වලට පිළිගත ආචාරධර්ම අවශ්‍ය බව අනිවාර්යයෙන් පිළිගතයුතුය. එසේ වුවත් ඒ කිසිවක් ස්වභාවධර්මය ඉක්මවා යන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනි දේද නොවියයුතුයි. දුර්වලතාවයන් තේරුම් ගැනීමටත් ඒවා මගහරවාගැනීමටත් හැකියාව ඇත්නම් ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට ගරහමින් අපහාස කරන පිරිමින් වීරයන්, සුදනන් වන්නේද නැත.

Thursday, March 13, 2014

අතීසාරයට අමුඩ ගැසීම

 මේ ලිපිය ලියන්නට හිතුනේ මේ දවස් වල අන්තර්ජාලයට පැනවීමට යනවා යැයි කියන තහංචි හා ෆේස්බූක් තහනමක් ගැන ඇති වී තිබෙන කතාබහ ගැන හිත යොමු කිරීමෙන් පසුවයි. මේ සියල්ලට ආසන්න හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ ඇතිවුන සියදිවි හානි කරගැනීම් කීපයකට ෆේස්බුක් එක ගෑවී තිබීමයි. කෙසේවෙතත් ඒ සියල්ලට විසඳුම ලෙස ෆේස්බූක් තහනම අනුමත කළහැකිද? වරද ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේද නැත්නම් අපේ රටේ සමාජය තුල තිබෙන යම් යම් අඩුපාඩුද? මේ සිදුවීම් ගැන තවදුරටත් කරුනු ගෙනහැර දැක්වියයුත්තේ ෆේස්බූක් තහනමෙන් මෙයට පිළියම් සෙවීමේ අර්ථයක් නැතිකම පෙන්වා දීමටය.
              මේ අන්තර්ජාල වාරනය ගැන කතාබහ කරලියට පැමිණීමට ආසන්නතම හේතුව ලෙස හඳුනාගතහැකි පැහැදිලි සිද්ධිය වන්නේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ඉමන්දි සිසුවියගේ ෆේස්බූක් ගිනුමක් සම්බන්ධව පාසලේ විදුහල්පතිවරයා තදින් දොස් පැවරීමේ හේතුවෙන් ඇය සියදිවි හානි කරගැනීමයි. මේ ගැන මා වෙනමම ලිපියක් පලකළෙමි. එයින්ද මම පෙන්වාදුන්නේ මේ සිද්ධියේදී බරපතලම වරද කර තිබෙන්නේ ෆේස්බුක් සමාජ ජාලයවත් එහි ගිනුමක් පවත්වාගෙන ගිය සිසුවියවත් නොව මේ සිද්ධිය හමුවේ සම්ප්‍රදායික ලෙස මෝඩ වීරයෙකු වී අර සිසුවිය මරාගෙන කෑමට ගිය විදුහල්පති බවයි. අප විචාරයක් ඇතිකළයුත්තේද මේ ගැනම නොවේද?                 
                                 මේ සිදුවීම ගැන වෙබ් අඩවි ඇතුලු සෙසු ජනමාධ්‍ය මගින් විවිධ කතාබහ ඇතිවුවත් මේ තුල ඇති සැබෑ ප්‍රශ්නය ගැන බුද්ධිමත් විග්‍රහයක් ඒ කිසිවක් තුල දක්නට ලැබුණේ නැත. මේ සිද්ධිය සිදුවී සුමානයකට පමණ පසු දිනක මාහට ගුවන්විදුලි නාලිකාවක එම සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයෙකු අදහස් දක්වනු අසන්නට ලැබුණි. එහ්දී ඔහු කීවේ දරුවන් තුල අභියෝග ජය ගැනීමට හැකියාවක් නැතිකම මෙවැනි සියදිවි හානිකරගැනීම වලට මුල බවයි. එහෙත් මෙතන ඇති අභියෝගය කුමක්දැයි ඔහු කීවේ නැත. මෙහි ඇති කෙහෙල්මල් අභියෝගයක් නැත, ඇරත් මේ සිද්ධියට මුහුණදුන්නේ ගැහැනු ළමයෙකි. ඒ ගැන කතාකළ මහාචාර්යවරයා ඒ අදහස් පලකර අර විදුහල්පතිවරයාගේ ක්‍රියාව ගැන වචනයක්වත් නොකීවේය. මෙහි කතා කළයුතුම දෙය අර ගොන් වීර චරිතයක් රඟපෑමට ගිය සම්ප්‍රදායික වූ ලිංගික කුහකත්වය හිසේරුවාගත් විදුහල්පතිගේ මෝඩ හැසිරීමය. විදුහල්පතිගේ එම හැසිරීම අහේතුවකට වූවක් නොවේ. ඒ තුල තිබෙන්නේ සමාජය වසාගත් ලිංගික කුහකත්වය නම් මාරාන්තික විෂයි. මේ වස සමාජගත වන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට ගැරහීම වීරත්වයක් හා ප්‍රබුද්ධකමක් ලෙස සැලකීමට කුඩා කළ සිට කුහකකමට වන්දනාමාන කරන වැඩිහිටියන්ගෙන් ලැබෙන වැරදි අනුබලයන්ගෙනි. ලිංගික වශයෙන් පරිනත වන වයස් මට්ටමක සිටින දරුවෙකු ලිංගිකත්වයේ ස්වභාවය අනුව සිය විරුද්ධ ලිංගිකයන් ගැන දක්වන උනන්දුවත් ලිංගිකව ඔවුන් කෙරෙහි දක්වන ආකර්ශනයත් ඇතැම් කුහක වැඩිහිටියන්ට අනුව දරුවන් නරක් වීමක්ය. එමෙන්ම ඔවුන්ට අනුව එය දරුවන්ගේ ඉගෙනීමටද ප්‍රධාන බාධකයකි. කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ අර පාසල් සිසුවියගේ ෆේස්බුක් ගිනුම දැක කුලප්පු වූ විදුහල්පතිවරයාද මේ ආකාරයේම පුද්ගලයෙකි.  මේ සිදුවීමේදී අදාල සිසුවියගේ අකල් මරනයට හේතු වූ කිසිවෙක් නොකියන ඇත්ත හේතුව එයයි.
                            

  
පාසලක් තුල සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය තවත් එක් දෙයක් පමණි. කනගාටුවෙන් වුවත් කිවයුතු අනෙක් දෙය නම් සමස්ථයක් ලෙස රටේ සියලුම පාසල් වල ෆේස්බුක් සම්බන්ධ සිද්ධිම නොවුවත් මෙවැනිම තවත් දේ ප්‍රසිද්ධියේම සිදුවන බවයි. ඒවා සියදිවි හානි කරගැනීම දක්වා දුරදිග නොයන බැවින් ඒ තරම් කතාබහට ලක් නොවේ. මෙය අප විසින් අනුමත කළයුතු සමාජ තත්වයක්ද නොවෙයි. එමෙන්ම මෙය කිසිසේත් අපේ රටට අදාල සමාජයේ යහපත් ගුණාංගයක්ද නොවේ. මෙය පැහැදිලි සමාජ දුර්වලතාවයක් මත පදනම් වන්නකි. ඒ අන් කිසිවක් නොව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් නිවැරදිව පිළිගන්නට දක්වන මැලිකම නොහොත් ලිංගික කුහකත්වයයි. අපේ විචාරයට ලක් වියයුතුම දෙය වන්නේ මෙහිදී එම කුහකත්වයට සමාජය තුල බොරු වටිනාකමක් ආදේශ වී තිබෙන්නේ කෙසේද යන්නයි. 
             මේ බොරු වටිනාකම් සාවද්‍ය ලෙස බුදු දහමට ඈඳා තිබීම එක් ප්‍රධානතම හේතුවකි. එය අතීතයේ පටන් ආ දෙයකට වඩා මෑතක උත්සන්න වූවක් යැයි සිතියහැක. ඊට හේතුවනම් මේ බොරු සාරධර්මයන් පාසල් අධ්‍යාපනය හරහා වැඩිදියුණු වී තිබීමයි. මෑතක පිම්බුණු ඇතැම් ව්‍යාජ බුද්ධිමතුන් බුදු දහම තුලට ලිංගික කුහකත්වය ඇතුල් කර තිබෙන්නේ එයද වන්දනාමාන කිරීමට තරම් දෙයක් යැයි සිතමිනි. බුදු දහමේ ස්ංස්කාර ධර්මයෝ නැසෙනසුලු බවත් ඒවාට නිත්‍ය ස්වරූපයක් නැති බව හා අනිත්‍යතාවය ගැන ඉගැන්වෙයි. එවිට මිනිසුන් ගොඩනගන ලෝකයම මේ ගොඩට වැටේ. එයට ලිංගිකත්වය  අනුව සමාජයක ඇතිකරන සංස්කෘතික ගොඩනැගීම්ද අයත්ය. ගැහැනු පිරිමි ලිංගික ගැලපීම්ද මේ ධර්මතාවයටම අයත් වේ. මෙහිදී අර ව්‍යාජ බුද්ධිමතුන් මිනිසුන්ගේ ගැහැනු පිරිමි ලිංගික සබඳතා වලට අදාල ලිංගික ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුලට ලක්කළේ එහි බුදු දහමට අනුව අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන නොව තම ලිංගික කුහකත්වය මුල්කරගෙනය. එහෙත් බුදු දහමේ කිසිවිටක ගිහි සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ගැහැනු පිරිමි ලිංගික සබඳතා ඇතුලු ගැලපීම් දෙස පිළිකුලෙන් හෝ වෛරයෙන් බලන්නට උගන්වා නැත. බෞද්ධ සංස්කෘතිය තුලද පිළිගත් සම්මත ලිංගික චර්‍යා රටාවක් හා පවුල් සංස්ථාවක් තිබේ. පූජනීය ස්ථානයක් තුල ලිංගික ක්‍රියාකාරකමක් ඉස්මතු කිරීමේ යම් නොගැලපීමක් තිබේ. ඒ පංසලක් තුල වැඩ වාසය කරන්නේ ලෞකික ආශාවන් තුරන් කිරීමේ විමුක්ති මාර්ගය කරා යන පැවිදි පාර්ශවයක් වීම නිසයි. එය එසේ වූ පමණින් මුලු සමාජයේම ලිංගික ආශාවන් හා ගැහැනු පිරිමි සමාජ ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුල් කර ඒ කෙරෙහි වෛරයද ජනනය කරමින් පීඩා විඳියයුතු යැයි බුදුවරුන් හෝ රහතන්වහන්සේලා කිසිවෙකුත් දේශනා කර නැත. එහෙත් අපේ බෞද්ධ සමාජය තුල සිටිනා ඉහවහා ගිය මෝඩ ශ්‍රද්ධාව ඇත්තවුන් තම ලිංගික කුහකත්වය ආගමික ශ්‍රද්ධාව සමගද වැරදියට ගලපාගෙන සිටිති.

                     මෙහි ප්‍රතිඵලය ලෙස බෞද්ධ සමාජය තුල විශම ලිංගික ගැලපීම් හා ආශාවන් පිළිකුලට ලක්කර මහා ලොකු වැදගත් චරිත බවට තමන්ට පත්විය හැකියැයි සිතන පිරිසක් ඇතිවී තිබේ. මේ පිරිසෙන් ඇතමෙක් මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයක් වූ සමලිංගික චර්යාව අර තරම් ද්වේශයකින් පිළිකුල් නොකරති. තවත් සමහරෙක් එය බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියටද හරහට ගලපන්නට උත්සහ කරති.  නමුත් බුදු දහමට අනුව මේ විකුර්තිභාවයට බලපෑ පෙර කර්මය යහපත් එකක්ද අයහපත් එකක්ද යන්න නොකීමටද මේ කුහක බුද්ධිමතුන් වගබලාගන්නේ අවස්ථාවාදීවයි. මානවයා ඉතිහාසය පුරා සංස්කෘතික හර පද්ධතීන් ගොඩනගමින් ශිෂ්ඨ සම්පන්න වී ඇති බව ඇත්තකි. ප්‍රසිද්ධියේ මිනිස් ජන සමූහයක් තුල ගැහැනියක් හා පිරිමියෙකු ලිංගිකව එක් වීමේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකමක නිරත වීමේ සදාචාරාත්මක ගැටලුවක් පැහැදිලිව ඇත. එහෙත් එසේ වූ පමණින් සදාචාරය යන්න මුල් කරගෙන ලිංගිකත්වය යන්නෙහි ස්වභාවයම පිළිකුල් කර ප්‍රතික්ෂේප කළ නොහැකි වේ.
                              
  අපට සිතා බැලීමට ඇති අනෙක් කාරනේ නම් ලිංගික කුහකත්වය ඉස් මුදුනේ තබාගත් පිරිස ප්‍රභූත්වයට පත්වීම පසුපස ඇති සිද්ධිය කුමක්ද යන්නයි. මෙහිදී අප එදිනෙදා ජීවිතයේ කොතෙකුත් දැක ඇති සිද්ධියක් වන පෙම් සුව විඳින පෙම්වතුන් හා පෙම්වතියන් දැකීමෙන් කුඩා ළමුන් නරක් වන බව අඟවමින් ඇතැම් වැඩිහිටි පිරිස් පෙම්වතුන්ට ද්වේශසහගතව බැනවදින ආකාරය සලකමු.එසේ කරන කල්හි ඔවුන් වැඩිහිටියන් ලෙස තමන්ට යම් වැදගත්කමක් ඇතිකරගත හැකියැයි සිතන්නේ ලිංගිකත්වයේ ස්වභාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ලිංගික වශයෙන් එකිනෙකාට ආකර්ශනය වී සංකීර්ණ සබඳතාවයක්(ලිංගික සංසර්ගයද ඇතුලුව )ගොඩනැගෙන ආකාරය දැකීමට ඔවුන් තුල ඇති උපන් ලැජ්ජාව හේතුවෙනි. මේ ලැජ්ජාව අප කාට කාටත් විවිධාකාරයෙන් ඇත. නමුත් එය එසේ වූ පමණින් එම ලැජ්ජාසහගත බව ලිංගිකත්වයේ ස්වභාවයට වඩා වටිනා යැයි තක්සේරු කිරීමට කිසිවෙකුටත් නොහැකිය.  ඒ වෙනත් කිසිවක් නිසා නොව වැදගත් යැයි සලකන එම විලි ලැජ්ජාව ඉස් මුදුනේ තබා ගැනීමට හෝ මනුස්සයෙකු ලෙස කෙනෙක් මෙලොව එලිය දකින්නේ ඒ ලැජ්ජාව නිසාම පිළිකුල් කරන ස්වභාවධර්මයෙන් දායාද වූ ලිංගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස වන නිසයි. ඔය ටික තේරුම්ගැනීමේ නොහැකිකමට වඩා කුහකත්වයම අධි මාන්නයක් කරගත් පිරිසට ඇත්තේ ලිංගික කුහකත්වය තුලින් තම ප්‍රතිරූපය පුම්බාගතහැකිය යන වැරදි වැටහීමයි. මේ කුහකත්වයන් මදකට හෝ පැත්තකින් තබා මොහොතක් විවුර්ත භාවයකින් යුතුව මෙලෙස පෙන්වාදුන් කරුනු දෙස බැලියහැකිනම් ලිංගික කුහකත්වයට සාවද්‍ය වටිනාකමක් එක්කිරීමෙන් සමාජයට ඇතිකරන පීඩනය කොපමණදැයි සිතාගැනීම අපහසු නැත. මෙරට සමස්ථ අධ්‍යාපනය පුරාවට ඔඩු ගිය මේ කුහක ප්‍රභූත්වය පාසල් පද්ධතිය පුරාවට ඇතිකරනු ලබන්නේ මේ පීඩාවයි. ගැහැනු ළමයෙකු හා පිරිමි ළමයෙකු එකට සිටින පින්තූර දැක කුලප්පු වී යකා නැටූ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයාගේ හැසිරීම රටට ප්‍රදර්ශනය කළේත් එයම නොවේද?

               පාසල් තුල පමණක් නොව කවර අධ්‍යාපන ආයතනයක් තුල වුවද විනයක් තිබියයුතු බව පිළිගත හැක්කකි. නමුත් මේ විනයට ලිංගික කුහකත්වය අයත් නොවියයුතුය. පාසලක ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගත්තද එහිදී ඔවුන්ට ඒ ගැන අවවාද කිරීමේ පිළිවෙලක් තිබේ. ඔවුන්ට එම වයසේදී එවැනි සම්බන්ධතා පැවැත්වීම එතරම් සුදුසු නොවන බවක් පෙන්වා දෙන්නේනම් එයටද පැහැදිලි හා පිළිගතහැකි හේතු ඉදිරිපත් කරමින් එය කළයුතුය. එවැනි තත්වයකදී පාසල් සිසුන් ලිංගික වශයෙන් පරිනත අවධියක සිටියත් සමාජයේද පරිනත වීම තම ලිංගික සහකරුවන් හා සහකාරියන් සොයාගැනීමට අත්ය්‍යාවශ්‍ය බව ඔවුන්ට කාරුණිකව පැහැදිලි කිරීමේ අපහසුවක් නැත. නමුත් වෙන්නේ ඒය නොවේ. බොහෝ පාසල් වල එවැනි අවස්ථා වලදී සිසුන්ට විදුහල්පතිවරුන් ආචාර්‍යවරුන් නින්දා අපහාස කරමින් බැනවැදීම හෝ වෙනත් ආකාරයකට මානසික හින්සාවකට ලක්කිරීම සිදුවෙයි. මෙය අවාසනාවන්ත තත්වයකි.
                         පාසල් තුල සිසුන්ට ඉගැන්වීම යනු කැලෑ  සතුන් හීලෑකරන ආකාරයට කළහැක්කක් නොවේ. අනෙක ළමුන් වයසින් වැඩෙන්නේ නිකම්ම නොවේ. ඔවුන් තම ජීවිත සාර්ථක කරගැනීම උදෙසා යම් යම් අත්දැකීම් ලැබීම සිදුවියයුතුමය. එහිදී ගැහැනු හා පිරිමි වශයෙන් ළමුන් සමාජයට අවශ්‍ය ලිංගිකත්වයේ පරමාදර්ශයන් වෙන්වෙන් වශයෙන් මවුපියන් ඇතුලු වැඩිහිටියන්ගෙන් ලබාගතයුතුය. එහෙත් ඇතැම් කුහක වැඩිහිටි පිරිස් ළමුන්ට ඒ ආදර්ශය හරිහැටි ළබා නොදෙති. පාසල් ගුරු විදුහල්පතිවරුද කියන්නේ ඒ ආදර්ශයට පෙර ඉගෙනගතයුතු බවයි. එයින්ද නොනවතින විදුහල්පතිවරුන් හා ආචාර්‍යවරුන් ගැහැනු ළමුන් හා පිරිමි ළමුන්ට වෙන් වෙන්ව තම ඉදිරි පැවැත්මට අවශ්‍ය ලිංගිකත්වයේ මානසික විශේෂනයන් ඇතිකරගන්නට පාසල තුලදී කිසිදු රුකුලක් ලබා නොදෙමින්, ඇතැම් විට ඔවුන් ගොඩනගාගන්නා ස්ත්‍රී පුරුෂ භාවයේ අනන්න්‍යතාවයන් පවා නැතිකරදැමීමට කටයුතු කරන්නේ අනාගතේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියා කළයුතුයැයි බොරු පණ්ඩිතකම් කියමිනි. මේ පාසල් වල විනය කමිටු වලටත් විදුහල්පතිවරුන්ටත් අනුව ලිංගික වශයෙන් පරිනත වයස් කාණ්ඩ වල සිටින ළමුන් ගැහැනු පිරිමි වශයෙන් ආකර්ශනය වීමත් ප්‍රේම සම්බන්ධකම් ඇතිකරගැනීමත් විනය විරෝධී ක්‍රියා වන අතර මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයන් වන ගැහැනු ළමුන් පිරිමි ලිංගික ස්ව්භාවය අනුකරනය කිරීමත් පිරිමි ළමුන් ස්ත්‍රී ස්වභාවයන් වර්ධනය කරගැනීමට යෑම හා සමලිංගික චර්යාව ඔවුන්ට ඒතරම් ගැටලුවක් නැත. ඔවුන්ගේ කුහක මානසිකත්වයට අනුව විකුර්ති ලිංගික චර්යාව ප්‍රජනනයට සම්බන්ධ නැති බැවින් එය එතරම් ගනනකට නොගත්තාට ගැටලුවක් නැතිය. ෆේස්බුක් තහනමට පෙර සොයාබලා සමාජයෙන් ඉවත්කරදැමියයුතු දුර්වලතාවයන් මේවායි.
                         

                            පාසල් සිසුවියකගේ ෆේස්බුක් ගිනුමක හුටපටයක් එම සිසුවියගේ ජීවිතය බිළිගනිමින් කෙළවර වියයුතු නැත. මෙවැනි ගැටලු විසඳාගැනීමට පෙර ගැටලුවේ පසුබිම හඳුනාගතයුතු වේ. පළමුව හඳුනාගතයුත්තේ ලිංගික කුහකත්වය නම් මානසික දෝෂය සමාජයට එල්ල්ලකරන පීඩාවේ ස්වරූපයයි. එය නිවැරදිව හඳුනාගැනීමෙන් පසුව කළයුත්තේ එයට අනවශ්‍ය වැදගත්කමක් ලබාදෙමින් ඒ මත පදනම්වන තවත් බොරු සාරධර්මයන් ගොඩනැගීම නවතා දැමීමයි. ඒ වෙනුවට ස්වභාවධර්මය සමග එකට යන නිවැරදි සදාචාරයන් ලිංගිකත්වය හා සබැඳෙන පරිදි ඇතිකළයුතුය. ඇත්තෙන්ම අමුතුවෙන් ඇතිකිරීමට දෙයක් නැත. අපේ පැරණි සමාජයෙන් වුවද ගැනීමට බොහෝ ආදර්ශයන් තිබේ. අනිවාර්‍ය ලෙස ලිංගික කුහකත්වය හිස්මුදුනේ තබාගත්තවුන් ප්‍රභූත්වයේලා සැලකීමද මෙහිදී නොකළයුතුම වේ. මෙලෙස ප්‍රශ්නය හා ප්‍රශ්නය උග්‍ර අතට හරවන පසුබිම හඳුනාගෙන සමාජය පීඩාවට පත්කරන ලිංගික කුහකත්වයට ඇති ව්‍යාජ වැදගත්කම ඉවත්කර දැමීමෙන් මෙපිටට වෙනත් විසඳුම් මෙයට නැත.ඒ ටික සිදු නොවනතාක් ඉදිරියටද මෙවැනිම ෆේස්බුක් සිද්ධිම නොවුනත් පාසල් සිසුන්ගේ ජීවිත බිළිගන්න වෙනත් සිදුවීම් මීටත් වඩා දරුණු ලෙස සිදුවියහැක. ෆේස්බුක් තහනම අතීසාරයට අමුඩ ගැසීමක් වන්නේ මේ වාතාවරනය යටතේයි.    

Saturday, March 8, 2014

ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩ දුන්නොත් නරකද?

තවත් එක් ජගත් කාන්තා දිනයක් එළඹෙන අතරතුරේ කාන්තාවන් සම්බන්ධයෙන් කතාකළයුතු වැදගත් යමක් ගැන අදහස් ස්වල්පයක් මෙසේ එක්කරන්නට සිතුනි. කාන්තා අයිතීන්, කාන්තා විමුක්තිය, ස්ත්‍රී නිදහස ආදී වදන් වැකි කොතෙක් අසන්නට ලැබුනද සැබෑ ලෙසම මේවා පැනනගින්නේ කාන්තාවන් අතරින්මද යන්න ගැටලුවකි. මා එසේ කියන්නේ මේ කරුණු ගැන කාන්තාවන්ට වඩා බොහෝසෙයින් කතාකරන්නේ පිරිමින් බව හොඳාකාරව දැනගෙනයි. කාන්තාවන් ගැන පිරිමින් කතා කිරීමේ වරදක් නැතත් මෙහි විචාරයට බඳුන්වියයුතු බොහෝ දේ තිබේ. ඉන් විශේෂතම දෙය වන්නේ මෙලෙස පිරිමින් විසින් කාන්තා අයිතීන් ඇතුලු අනෙකුත් දේ ගැන කතාකිරීමට යෑමේදී ඒතුල කුහකත්වය ගැබ්වී තිබීමයි.
                      ලිංගිකත්වය කියන දේ සොබාදහමෙන් ලොවට දායාද වන්නේම ලිංගික ප්‍රජනන ක්‍රියාව ඇසුරෙන් ජීවීන්ට ස්වකීය වර්ගයා බෝකිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීම සඳහායි. එහිදීද ලිංගිකත්වය ජීවීන්ගේ පරිනාමයට අනුව බලන කළ සංකීර්ණ වී තිබෙන්නේ එකම සත්ව විශේෂය තුලද ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ආවේනික ගති ලක්ෂණයන් වර්ධනය වන ආකාරයටයි. මෙය මානව ලිංගිකත්වය සලකා බැලීමේදී තවත් ඉහල මට්ටමකින් දක්නට තිබේ. ජීව විද්‍යාත්මකව පිරිමින්ට පිහිටන්නේ සාපේක්ෂව දැඩි ශක්තිමත් ශරීර ලක්ෂණය. කායිකවශයෙන් හා චර්යාත්මකව පිරිමින් සාපේක්ෂව වඩා ක්‍රියාකාරීය. එමෙන්ම මනෝවිද්‍යාත්මක වශයෙන් පිරිමින් සාපේක්ෂව තරමක් සටන්කාමීය. මේ අයුරින්ම මීට අනුරූප ලෙස කාන්තාවන්ට පිහිටන්නේ පෙර සඳහන් කළ පිරිමි ලක්ෂණයන්ට විරුද්ධ ලක්ෂණ වේ. එලෙස එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ගැහැනු හා පිරිමි ලිංගිකත්වයන් නිර්මාණය වී තිබෙන්නේ එකිනෙකා ගේ ලිංගික පෙරැත්ත හා ආශාවන් එකිනෙකට ගැලපෙන ලෙස වේ. මිනිසුන් විසින් ගොඩනගන සංස්කෘතික නිර්මාණයන් සියල්ලකම වාගේ මේ සිද්ධිය අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. ලිංගික පෙරැත්ත හා ආශාවන් ස්වභාවිකව පුරුෂයාට මෙන්ම ඊට අනුරූප වශයෙන් එයටම ගැලපෙන ලෙස ස්තියටද එක ලෙස සොබාදහමෙන් උරුම වේ. මේ කාරනය කිසි සේත් සැඟවිය නොහැක. 
           ඇත්තෙන්ම ඉහතින් විස්තර කළ කරුණු තව දුරටත් සලකා බලන්නේනම් කාන්තාවන් හා පිරිමින් එක්ව මිනිස් ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය යම් යම් දේ නිර්මාණය කරන්නේද එකිනෙකාගේ සුවිශේෂී ලිංගික අනන්‍යතාවයන් වර්ධනය වන හා ලිංගික ආශාවේ ස්වරූපයන් එකට ගැලපෙන ලෙසයි. ලිංගික පෙරැත්ත හා ආශාවන් පිරිමින්ට පමණක් ඇති දේ නොවේ. එ ය ඒ ආකාරයටම ඊට ගැලපීමක් ඇතිවන පරිදි කාන්තාවන්ටද ස්වභාවිකවම ලැබෙන්නේ ලිංගිකත්ව්යේ ස්වභාවයට අනුව පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි නිසි අනුකූලතාවය දැක්වීමටය. සාමාන්‍ය වශයෙන් ඕනෑම සමාජ පසුබිමක පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව විශේෂිත ගති ලක්ෂණයන් වැඩි දියුණු කරගැනීමට උත්සාහ කරන්නේ මේ කාරනයද මුල්කරගෙනයි. එය කිසිසේත් ස්වභාවිකත්වයට පටහැනි දෙයක්ද නොවේ. මේ ස්වභාවයට අනුකූලත්වයක් නොදක්වන පිරිසක්ද නැත්තේම නැත. ස්ත්‍රී පුරුෂ ලිංගික ස්වරූප්යන්හි පෙර විස්තර කළ දෙයින් වෙනස් වන ඊට ප්‍රතිවිරුද්ධ වූ හැසිරීම් ඇති පිරිස් ඇත්තෙන්ම සිටිති. එවැනි පිරිස් සැබෑ ලෙස බිහිවන්නේ ලිංගික කුහකත්වය මුල්කොටගෙන ඇතිවන නොයෙක් මනුස්ස ක්‍රියාකාරකම් හා ඒ ඔස්සේම ගොඩනැගෙන සමාජ දුර්වලකම් වල ප්‍රතිඵලයක් ලෙසයි. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට පටහැනි දේ දැකීමේ කුහක ආශාවන්ද ඇතැම් පිරිස් වලට නැතුවා නොවේ. කාන්තා නිදහස කාන්තාවන් අතර සිටින පිරිමි හැසිරීමක් ඇති අයගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් ඇතැම් පිරිමින් විග්‍රහ කරන්නට යන්නේ එක් පසෙකින් මේ හේතුව නිසාය.   

 
                         අද නොයෙක් විදිහට දස දෙසින් කාන්තාවන්ට වන අසාධාරනකම් හා ඊට පිළියම් ගැන අසන්නට ලැබේ. එහෙත් මේ ගැන කතා කරන පිරිස් වල අවංක භාවය හා කාන්තාවන්ට සිදුවන සැබෑ අසාධාරනය හඳුනාගැනීමේ හැකියාව ගැනනම් විශාල ගැටලුවක් ඇත. ඒ අන් කිසිවක් නොව ඔවුන්ද තම කුහක මානසිකත්වය මතම පිහිටා ප්‍රශ්න විග්‍රහ කිරීමයි. මෙහිදීද කුහක පිරිමින් කොට්ඨාශයක් පෙරමුණ ගෙන ක්‍රියා කිරීම තුල අවුල අවුලෙන්ද අවුලකට පත්කරන්නේ නිරායාසයෙනි. කුහකත්වයෙන් අන්ධ වූ කළ තමන් විසින් තමන්වම රවටාගනිමින් තම ලිංගිකත්වයද බාල්දු කරගන්නා පිරිමින් තම පුරුෂ ලිංගික ක්‍රියාකාරීත්වයටම අනුරූප ස්ත්‍රී ලිංගිකත්වයට ගරුකරයිද? සැබෑ ප්‍රශ්නය පැනනගින්නේද මෙතැනින්මය.  කාන්තා නිදහස හා කාන්තා අයිතීන් ගැන කතා කරන ඇතැම් පිරිමින්ට අනුව කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නොවන අතර කාන්තාවන් සිටින්නේද දරුවන් වැදීම සඳහා නොවෙති. ඔවුන් තුල මේ විකාර අදහස ජනනය වන්නේ ඔවුන් තමන්ට ස්වභාවිකව ලැබෙන ලිංගිකත්වයද ඇතුලුව  සමස්ථ පිරිමි ලිංගික ස්වභාවය ම කුහක ලෙස බාල්දු කිරීමත් ඒ අනුව ඔවුන් පිරිමි ලිංගිකත්වය හා අනුරූප වන ස්ත්‍රී ලිංගිකත්වයද එලෙසම තවත් බාල්දු කිරීමත් යන සංසිද්ධිය මුල්කරගෙනයි. මේ කුහක මිනිසුන්ට අනුව කාන්තාවන් හැකිතාක් ඔවුන්ගේ ගැහැනුකම අත්හැර දමා පිරිමින් මෙන් පිරිමිකම ප්‍රගුණ කරහතයුතුය. ඔවුන් මේ අත්තනෝමතික තීන්දුව මත එල්බගන්නේ අඩුම තරමින් කාන්තාවන්ට තම ස්වභාවික ලිංගිකත්වය පිරිමි ලිංගිකත්වයෙන් වෙන්කොට හඳුනාගෙන පිරිමි ලිංගික ස්වභාවයට සමගාමීව ස්ත්‍රී අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට  නිදහසක්වත් තිබියයුතුයැයි නොසිතමිනි. ඔවුන්ට අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය මැනියයුත්තේද කාන්තාවන්ට පිරිමින් කරන  සියලු දේ ඒ ආකාරයෙන් කිරීමට තිබෙන හැකියාව මතය. එපමණක්ද නොවේ, ඔවුන් සිතන අයුරින් කාන්තාවන්ට නිදහස තිබියයුත්තේද එසේ පිරිමින් මෙන් හැසිරීමටය. ඒ අයුරින් ඔවුන්ට අනුව කාන්තා අයිතීන් තිබියයුත්තේද එසේ මනෝ විද්‍යාත්මක බෙදීම් නොසලකා කාන්තාවන්ට පිරිමින් කරන දේ කිසිදු විචාරයකින් තොරව කිරීමටය. නමුත් කාන්තාවන් තමන්ටම ආවේනික කිරියාකාරකම් පද්ධතියක් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීයව ගොඩනගාගැනීම මේ කුහක පිරිමින්ට අනුව පුරුෂාධිපත්‍යට යටවීම හා සම්ප්‍රදායික ලෙස පුරුෂයා යටතේ වහලියන් වීමයි. නමුත් ඔවුන්ගේ කුහක මොළයට අනුවනම් ඔවුන් විසින් කාන්තාවන් ඊට එරෙහිව මෙහෙයවීම පුරුෂාධිපත්‍ය නොවේ. තවත් දෙයක්නම් මේ කුහක පිරිමින් තම ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට හැකිතාක් ගැරහීමත් පුරුෂයින් මෙන් සමාජයේ ක්‍රියාකරමින් පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීමට යන කාන්තා චරිත වලට වන්දනාමාන කිරීමත්ය.            

                               මේ විකාර දෙස බැලීමේදී අපට තේරුම්යන එකම දෙයනම් කාන්තාවන්ට නැතිකර දමා තිබෙන්නේ කාන්තාවන් හැටියට ජීවත් වීමේ නිදහස හා අයිතියම බවයි. ඒ ටික කරනුලබන්නේද කුහක පිරිමින් කොට්ඨාශයයි. කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් කළයුත්තේද කුහක පිරිමින්ට සමාජයේ ඉහල තත්වයන් ලබා නොදී, එලෙසම ඔවුන්ගේ කුහකත්වයන්ටද බොරු වැදගත්කමක් ඇති නොකර ලිංගික කුහකත්වය යන ධූලක විෂබීජයම සමාජයෙන් තුරන් කිරීමයි. ඉන් අනතුරුව ස්වභාවික පිරිමි ලිංගිකත්වයේ සියලු සාධකයන්ට අනුරූප වන සමස්ථ ස්ත්‍රී ලිංගිකත්වයම නිවැරදිව සමාජය තුල පිළිගැනීම කළයුතුය.   ඒ වෙනුවට කළයුත්තේ කාන්තාවන්ට ස්වභාවික ලෙස ලැබෙන ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ලිංගික ආශාවන්හි ස්වභාවයද ඇතුලුවම සමස්ථ ස්ත්‍රීත්වයම හරි හැටි පිළිගෙන ඊට නිසි ගෞරවයක් දැක්වීමයි. මවුවරුන් ගැනද අප බොරුවට කතා නොකළයුතුය. මාතෘත්වය පිළිගන්නේනම් ස්ත්‍රී ලිංගික ස්වභාවය ඊට පෙර හරිහැටි පිළිගතයුතුය. ඒ මක්නිසාද කියා කියන්නේනම් කාන්තාවන්ට දරුවන් හැදීමට අවශ්‍ය ශාරීරික හා මානසික පසුබිම සැකසෙන්නේ පිරිමියෙකු සමග ලිංගික ක්‍රියාවක නිරතවීමට අවශ්‍ය ලිංගික පෙරැත්ත හා ස්වභාවිකව පිහිටන ලිංගික ලක්ෂණ වලට අනුවයි. අප කුහකකම් පසෙක තබා පිළිගතයුතු වැදගත්ම දෙයද එයම වේ. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කුහකත්වය මුල් කරගෙන බලෙන් වෙනස් කිරීමට යෑම වෙනුවට එය හරිහැටි තේරුම්ගෙන ඒ සමග එකට ජීවත්වීමට කාටත් හැකිනම් මේ පැටලිලි කිසිවක් නැත.  සැබෑ ලෙස ගත්කළ හැඟීම් දැනීම් ඇති ඉහමොළයක් තිබෙන කුහකයන් නොවන කිසිදු පිරිමියෙකුට තම පුරුෂභාවයට අනුරූපවන ස්ත්‍රී ස්වභාවයට ගැරහීමටත් එය හෙලාදැකීමටත් පුලුවන්කමක් නැත. කෙටියෙන් කිවහොත් ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩක් දී ඇය රැකබලාගැනීමට පිටකොන්දක් ඇති කුහකයන් නොවන පිරිමින් කවුරුත් වගබලාගතයුතුය.