Pages

Monday, October 13, 2014

ඇන්නා පැන්නා තාවකාලික සතුට හා සිරා ලවු


සත්ව සංහතියේම අන් සතුන්ගේ ලිංගිකත්වය හා ප්‍රජනනය ගැන කතා කරනවාට වඩා මානව ලිංගිකත්වය ගැන කතා කරන්නට බොහෝ කරුණු ඇත. ඊට හේතුවන  ප්‍රධානතම කරුණ වන්නේ මිනිසාගේ ලිංගිකත්වයට අනුරූප පුළුල් මනෝභාවය හා ඒ ඇසුරෙන් ගොඩනැගෙන්නාවූ සමාජමය විශේෂණයන් වේ. මේ හා සම්බන්ධ නොයෙකුත් සමාජ විද්‍යාත්මක විශ්ලේශනයන් ඇතුළු බොහෝ කරුණු සොයාගතහැකි වුවත් යම් විවුර්ත භාවයකින් යුත් සමබර විචාරයන් බොහෝදුරට දකින්නට නොලැබෙයි.
                මිනිස් ප්‍රජාවන් තුල විරුද්ධ ලිංගික බැඳීම් සැලකීමේදී එම බැඳීම් වල හා ලිංගික ආශ්‍රයන්හි වගකීමෙන් යුතු බවත් වගකීමෙන් තොර බවත් අනුව ඒවාට ලැබෙන පිළිගැනීම් එකිනෙකට බොහෝ වෙනස්ය. විරුද්ධ ලිංගික සහකරුවන් දෙදෙනෙකු එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් හා එකිනෙකා කෙරෙහි වගකීමකින් යුතුව ඇතිකරගන්නා ලිංගික බැඳීමක් සමාජයේදී හඳුනාගන්නේ සත්‍ය ප්‍රේමය, පිවිතුරු ආලය, සැබෑ ආදරය යනාදී වශයෙනි. එවැනි සහකරුවන් දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි වගකීමකින් බැඳී නොසිටිමින් හුදෙක් ආශ්වාදය සඳහා පමණක් ඇතිකරගන්නා ලිංගික බැඳීම් කාමය හා රාගය වශයෙන් හුවා දැක්වීමටද බොහෝ දෙනෙකු පෙළඹෙන බව පෙනෙන්නට තිබේ.
                  කාරනාවල් කුමක් වුවද සැබෑ පවිත්‍ර ප්‍රේමය තුලත් ඒ පවිත්‍ර ප්‍රේමය වන්දනා කරන්නන් රාගය ලෙස හඳුන්වන දෙය තුලත් පොදුවේ ගැබ්වී ඇති විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික ක්‍රියාවලිය බොහෝ දෙනාට ඉක්මනින් අමතක වේ. අමතක වනවාටත් වඩා එය මතකයට නැගීම උවම්නාවෙන් මැඩපවත්වාගෙන සිටීම පවිත්‍ර ප්‍රේමය අදහන්නන් ඇතුළු බොහෝ දෙනෙකු කරති. රාගය යන ලිංගික පෙරැත්තෙන් තොර සැබෑ ප්‍රේමය අදහන්නන් පිරිමියෙකු වැනි දේහ ලක්ෂණ ඇති කිසිදු ස්ත්‍රී ලිංගික ලක්ෂණයකින් තොර අවලස්සන මෙන්ම පිරිමි ආකාර හැසිරීම් රටාවක් ඇති කාන්තාවකට ඔය පිවිතුරු ප්‍රේමයනම් කිසිවිටකත් පුදකරන්නේ නැත. එවැනි සත්‍ය ප්‍රේමයක් මත තම සහකාරිය සමග විවාහ වන්නෙකු වෙනත් පුරුෂයෙකුට රාගයෙන් තොර සත්‍ය ප්‍රේමයවත් තම බිරිඳට පුදන්නට ඉඩ නොදේ. එසේ කළොත් ඇතැම්විට සිද්ධිය මිනී මැරුමකින් කෙලවර වන්නටද බැරි නැත. ඔවුන් අදහන පිවිතුරු ප්‍රේමයේ රාගයෙන් තොර බව ගැන ඔවුන්ටම තිබෙන සැබෑ මිම්ම එයයි.
                   
  රාගයෙන් තොර එනම් ලිංගික පෙරැත්තෙන් ස්වාධීන වූ වෙනත් ආකාරයක ආදරයක් ඇත්නම් ඒ මවුපිය දූදරු ස්ම්බන්ධතාවයන් මත පදනම් වන ආදරය හෝ මනුස්සයෙක් සතෙකුට දක්වන ආදරය වැනි දෙයක් විය හැක. නමුත් ලිංගිකව පරිනත තරුණයෙකු හා තරුණියක් අතර ඇතිවන ආදරයක් කිසිවිට ඔවුන් තම විරුද්ධ ලිංගික ස්වභාවයට දක්වන ඇල්මෙන් හා ලිංගික පෙරැත්තෙන් ස්වාධීන නොවේ. එය ස්වභාවික මෙන්ම ජීව විද්‍යානුකූලද වන බව පැහැදිලිය. ගැහැනු හෝ පිරිමි කුඩා දරුවන් ලිංගිකව පරිනත වීම යනු ඔවුන් ප්‍රජනන ක්‍රියාවලියට සහබාගී වීම සඳහා සුදුසු තත්වයට පත්වීමයි. එහිදී විරුද්ධ ලිංගික ආකර්ශනය මත යොවුන් වියේ දෙදෙනෙකු අතර ප්‍රේමයක් ගොඩනැගෙන්නේ ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන බීජ සෛල එක්කිරීමේ යාන්ත්‍රණය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියට දැමෙන පදනම ලෙසයි. මේ ටික තේරුම්ගත නොහැක්කේ කුහකකමින්ම අන්ධ වූවන්ට පමණකි.
                      ප්‍රජනනය ඉලක්ක කර නොගෙන ඇතිකරගන්නා ලිංගික ආශ්‍රයන් තිබුණද ලිංගිකත්වය කියා දෙයක් පවතින්නේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහාය. පවිත්‍ර ප්‍රේමයේ ගැබ් වී තිබෙන ලිංගික පෙරැත්ත හෙවත් රාගය එම පවිත්‍ර ප්‍රේමය දේවත්වයේලා සලකන පිරිසට නොපෙනෙයි. පෙනුනත් ඒ දෙස ඇස් ඇර බැලීමටවත් ඔවුන් අකමැතිය. මේ අය වගකීමෙන් යුතුව ඇතිකරගන්නා ලිංගික බැඳීමක පිවිතුරු බව එහි අන්තර්ගත ලිංගික ක්‍රියාදාමය ගැන අනුදැනුමකින් තොරව අගයති. නමුත් එකිනෙකා ගැන වගකීමෙන් තොරව ඇතිකරගන්නා ලිංගික බැඳීමක අන්තර්ගත ලිංගික ක්‍රියා සමුදාය කාමය රාගය ආදී වශයෙන් ඔවුහු සැනෙකින් හඳුනා ගනිති. එසේ හඳුනාගෙන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් සියල්ලට ඔවුන් කිසි විචාරයකින් තොරව දොස් පවරති.
                   ලිංගික කරුනු හා ඒ මතම පදනම් වන විරුද්ධ ලිංගික ප්‍රේම සම්බන්ධතා ගැන කතා කිරීමේදී පරම පිවිතුරු ප්‍රේමය ගැන මතිමතාන්තර මොකක් උනත් වියයුත්ත වෙනමම එකකි. පරම පවිත්‍ර ප්‍රේමය රාගයෙන් තොර යැයි තර්ක කරන්නන් ඇත්තෙන්ම කරන්නේ ලිංගික බැඳීමක වගකීමෙන් යුතු බව හා වගකීමෙන් තොර බව මත පිහිටා ලිංගික පෙරැත්තේ ස්වභාවය දෙවිදිහකට දකිමින් ඊට දෙයාකාරයකට සැලකීමයි. වගකීමෙන් තොර ලිංගික බැඳීම දුරදිග ගියකළ ඇතිවන සමාජමය ගැටළු වෙනමම තිබේ. එවැනි ගැටළු නැතැයි කීමට මාහට අවශ්‍ය නැත. නමුත් ඇත්තටම වියයුත්තේ මේ හා සම්බන්ධව අප සියල්ලන්ට ස්වභාවිකව දායාද වන ලිංගික පෙරැත්ත කාගේත් ජීවිත වල වැදගත් අංගයක් බව හරියට පිළිගෙන ඒ මත පිහිටා ලිංගික බැඳීමක වගකීමෙන් යුතු බව හා වගකීමෙන් තොර බව වෙන්කර හඳුනාගෙන දෙයාකාරයකට දැකීමයි. අවසානයට කියන්නට ඇත්තේ ගැහැනු පිරිමි ලෙස අන්‍යෝන්‍ය වශයෙන් ඇතිකරගන්නා ප්‍රේම සම්බන්ධයක් යනු වගකීමෙන් යුතු ලිංගික බැඳීමක් පමණක් යන්න හා ලිංගික පෙරැත්තේ ස්වරූපය වන රාගය එහි අන්තර්ගත වූ පමණින් ප්‍රේමය අපවිත්‍ර නොවන කරුණ වේ.