මාහට හැඟී යන මූලිකම දෙය නම් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන ප්‍රමුඛ ජාතික බලවේගයට ලිංගිකත්වයට අදාල විෂය පථය සම්බන්ධ කිසිදු පැහැදිලි මතයක් හෝ පැහැදිලි ස්ථාවරයක් නොතිබීමයි. මෙහිදී අප සමාජයටම ආවේනික ලිංගික කුහකත්වයන් ජාතික බලවේගය තුලද නැතැයි අපට කිසිසේත් හිතන්නට බැරිය. මේ කුහකත්වයන් විශේෂයෙන් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමටත් අදහස් දැක්වීමටත් සිංහල සමාජය තුල මැලිකමක් ඇති කරනවාට සැකයක් නැත.නමුත් එය එසේ වීම නිවැරදි වන්නේ එක්තරා කොන්දේසි සහිත සීමාවක් තුල පමණි. මූලිකව ගත් කල ප්‍රජාව තුල පුරුෂ හා ස්ත්‍රී ජනගහනයන් වෙන් වෙන් වශයෙන් තම ලිංගික අනන්‍යතා ශාරීරිකවත් මානසිකවත් ගොඩනගා ගන්නා විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රීය වූ විෂමලිංගිකත්වය පමණක් හඳුනාගත හැකි සමාජ වටපිටාවක ලිංගිකත්වය ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. අපේ රටේ මෑතක් වන තුරු එම තත්වය ඒ ආකාරයෙන් දැකිය හැකි විය. නමුත් සමාජයේ ලිංගික විශේෂනයන් දුර්වල කරමින් බටහිර යුරෝපීය පස්චාත් නූතනවාදී මුලාවන් හා ස්ත්‍රීවාදය ක්‍රමක්‍රමයෙන් අපේ සිංහල සමාජයද ආක්‍රමණය කරද්දී ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කළයුතු වන තත්වයක් නිතැතින්ම ඇතිවේ. මේ තත්වය අපේ සිංහල සමාජය ආක්‍රමණය කිරීමට පෙර එහි ආනිසංසය හඳුනා ගැනීමට හෝ එසේ හඳුනාගෙන ඊට එරෙහෙව ප්‍රතික්‍රියා දැක්වීමට අපේ අනර්ඝ ජාතික බලවේග සංවේදීව කරයුතු නොකළ බවනම් අපට බය නැතිව කටක් ඇර කියන්නට හැකිය. එනයින් බලන කළ මෑතක ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩය රැස්වීමකදී ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය කෙරෙහි අපගේ අනර්ඝ වූ ජාතික බලවේගයන් දුර්වල ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම පුදුමයට කාරනයක් නොවේ.
සිංහලයේ මහා ගාම්භීර ජාතික බලවේග මුනිවත රකිද්දී සිංහල බෞද්ධ අනන්‍යතාවයක් එතරම්ම දක්නට නැති විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයේ රට අවමානයට ලක්කළ ක්‍රියාව ගැන ඉතා සංවේදීව කතා කළේය. එහිදීද සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවූ මොහොමඩ් මුසම්මිල් මහතා ඉතා නිවැරදිව ප්‍රශ්නය හඳුනාගෙන ඊට එරෙහිව සක්‍රීය ලෙස යම් ප්‍රතිචාරයක් දැක්වීම ඉතා ප්‍රශංසනීය වනවා පමණක් නොව සිංහල බෞද්ධ යැයි කියාගන්නා සිල්වත් බකපණ්ඩිතයන්ට හොඳ ආදර්ශයක්ද ලබා දුනි. මොහොමඩ් මුසම්මිල් මහතා එහිදී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලංකාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතින රටක් යන්න හා දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි සංස්කෘතීන්ද ඒවටා තිබෙන බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂය ලිංගිකත්වය ගැන දරන මතය රටේ මතය ලෙස හුවා දැක්වීම බරපතල වරදක් බවයි. අනෙක් සෑම ජාතික ගැටළුවකදීම වල්ගය ගිනි තබාගත් හනුමන්තා මෙන් හැසිරෙන ජාතික බලවේගයට මුසම්මිල් මහතා හොඳ ආදර්ශයක් මෙහිදී ලබා දුන් බව කිවයුත්තක් නොවේ. රටටම ආවේනික කුහකත්වයන් කරපින්නාගෙන බටහිර විද්‍යාඥ්ඥයන්ගේ දැක්මට අනුව බුදු දහමද දකිමින් බටහිර ලිංගික කුහකත්වයනුත් බුදු දහම සමග හරහට ගැටගසාගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන දේ වල අනිත්‍යතාවය පමණක් මහ ඉහලින් උලුප්පන ගමන් අනෙක් සියළු සැප සම්පත් වලට ඇලී ගැලීම ගැන අඩුවෙන් කතාකිරීම සිංහල බෞද්ධ බොරු සිල්වතුන්ට කලක් තිස්සේ හුරු වූවකි. මෙය සිංහල බෞද්ධ ජාතික බලවේගයේද දකින්නට ඇත. ජාතික නිදහස් පෙරමුණේ සිංහල නොවන බෞද්ධද නොවන මොහොමඩ් මුසම්මිල් මහතා තරමට විජාතික එක්සත් ජාතිකපක්ෂයේ ලිංගිකත්වය සම්බන්ධ ස්ථාවරය සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිකවාදීන්ට ගැටළුවක් නොවුනේ ඒ නිසාය.