සිද්ධියට අනුව එදින උදෑසන පාසලට පැමිණි සිසුන්ගේ පොත් බෑග් පරික්ෂා කරද්දී දහය වසරේ සිසුවාගේ බෑගය තුල අර හය වසරේ ඉගෙනුම ලබන සිසුවිය විසින් දුන්නා යැයි කියූ පෙම් හසුන හමු වී ඇත. ඒ සිසුවාට පාසලේ බලධාරීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන ආරංචියක් නැත. ආරංචියේ හැටියට හයවසරේ 11 හැවිරිදි ශිෂ්‍යාවට ඇයගේ පංතිය භාර අංශයේ ප්‍රධානියා මේ ගැන අවවාද කර පහුවන සතියේ සඳුදා දින මව හෝ පියා සමග පැමිණෙන ලෙස උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් අර අංශ භාර ප්‍රධානියා සිසුවියට අවවාද කළ ආකාරය පැහැදිලි නැත. එය අර කුඩා සිසුවියගේ පැත්තෙන් බලන කලනම් එතරම් යහපත් අවවාද කිරීමක් විය නොහැක.මා එසේ කියන්නේ අපේ රටේ පාසල් වලට අරක්ගෙන සිටින කුහක සත් ගුනවත් ගුරු භවතුන්ගේ බොරු සාරධර්ම ඇදහීම ගැන හොඳින් දන්නා නිසාය. ශිෂ්‍යාවට ඇය කළ ක්‍රියාව මහා ලොකු සදාචාර සම්පන්න පාසලේ විනයට නොගැලපෙන බව කියමින් යම් තරවටුවක් කරා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය අවවාද කිරීමක් හැටියට මාධ්‍ය වලට කිව හැක. කුහකකම් ප්‍රභූත්වයට හේතු වන කල පාසල් බල්ධාරීන් ලිංගික කුහකත්වය තම ප්‍රධාන වුර්තීය සුදුසු කමක් ලෙසද සලකන අපේ රටේ සිසු සිසුවියන්ගේ පෙම් හබ වලට ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ තරවටු කිරීම් වලට ලක් වීම සුලභ සිද්දියකි.
මේ සිද්ධියට මුහුනපා අවාසනාවන්ත ලෙස සියදිවි හානි කරගත් කුඩා පාසැල් දැරියට අවවාද කළ ඇයගේ පංතිය ඇතුලත් අංශ භාර ප්‍රධාන ගුරුවරයා හෝ විදුහල්පති හෝ වෙනත් කිසිවෙක් මේ වෙනතෙක් සිද්ධිය ගැන කිසිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ පවත්වන බව ආරංචි වී තිබේ. සිද්ධිය වූ දිනයේ පාසල ඇරී ගෙදර පැමිණි දැරිය ඇඳුම් මාරු කිරීමට කාමරයට ගොස් බොහෝ වේලාවකින් නැවත නොපැමිණීමත් දොරට තට්ටු කරද්දීත් කතා නොකිරීමත් නිසා නිවැසියන් දොර කඩා කාමරයට ඇතුල් වන විට දැරිය සාරි පොටෙන් එල්ලී සිටිනු දැක ඇත. අසල්වැසියන් සමග දැරිය වැල්ලවාය රෝහලට ගෙන ගියත් ඒ වන විට මේ දැරිය මියගොස් අවසන්ව තිබී ඇත. දැනටත් මේ සිද්ධිය ගැන මාධ්‍ය වලින් ඒතරම් ප්‍රචාරය වී නැත. ඇතැම් විට ගුරුභවතුන් හා විදුහල්පතිවරුන්ට ඇති ප්‍රභූත්වයත් අධ්‍යාපනයට හා පාසලට තිබෙන පූජනීයත්වයත් හමුවේ දැරියගේ පෙම් හසුන බරපතල කාරනයක් වීම නිසා පාසල් බලධාරීන්ට ඇඟිල්ල දිගු කරමින් ප්‍රවුර්ති පල කිරීම මෝඩකමක් කියා මාධ්‍ය වලට හැඟී ගියා වන්නටද පුළුවන.
පාසලේ බලධාරීන් 11 හැවිරිදි දැරියක් එම විදුහලේම ඉහල පන්තියක සිසුවෙකුට ආදර හසුනක් ලියා පාසලේ පූජනීයත්වය කෙලෙසීමේ සාපරාධී ක්‍රියාව අල්ලාගත් වීර වික්‍රමාන්විත ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් කතා කිරීමට ඒ ගැන මාධ්‍ය කීවත් නොකීවත් මටනම් අවශ්‍ය වේ. ඒ නිකම්ම නොවේ මේ පාසලේ බලධාරීන් කළ දේ ඔවුන්ට අනුව මහා ලොකු වීරකමක් වන්නේ කෙසේද යන්න ගැන ඊට පසුබිම් වන හේතුද සමග කරුනු පැහැදිලි කරමිනි. විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් යනු ලිංගික පෙරැත්ත හා විරුද්ධ ලිංගික ආකර්ශනය මත පදනම්ව ස්වභාවික ලෙස ජනනය වන දේය. ඒ ප්‍රජනන ක්‍රියාවලිය ස්ම්පූර්ණ කිරීම සඳහාය. මේ සිද්ධිය දෙස බැලීමේදී 11 හැවිරිදි සිසුවිය ලිංගිකව පරිනත විය ආසන්නයේ සිටී. අනෙක් අතට 10වන වසරේ සිසුවාද නවයොවුන් වියේ දොරකඩ සිටින්නෙකි. මේ දෙදෙනා අතර ලිංගිකව ආකර්ශනයක් ඇතිවීම ස්වභාවයට අනුව පුදුම වන්නට දෙයක් නොවේ. එබැවින් ඒ ස්වභාවය මත දෙදෙනා අතර ප්‍රේමාන්විත හැඟීම් ඇතිවීමද කොහෙත්ම පුදුමයක් නොවේ. පරම පිවිතුරු ප්‍රේමය රාගයෙන් එනම් ලිංගික පෙරැත්තෙන් තොරයි කියන අයගෙන්නම් මා අසන්නේ එවැනි පරම පිවිතුරු ප්‍රේම සම්බන්ධතා පැවැත්වීමට අපේ රටේ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉඩ දෙන්නේද යන්නයි. හය වසරේ දැරියගේ පෙම් හසුන තුල ඇත්තේ ඊට සම්බන්ධ සිසුවා හා ඇය අතර ඇති වූ ලිංගික ආකර්ශනය මිස වෙන දෙයක් නොවන කාරනය නම් බාදාවකින් තොරව වටහාගත් පාසලේ බලධාරීන් තමන් පූජනීයත්වයේ ලා සලකන ලිංගික කුහකත්වය මත පිහිටා දැරියගේ ක්‍රියාව ලොකු වරදක් බව එක එල්ලේ තීන්දු කර ඇත. ඒ අනුව ඇයගේ පංතිය ඇතුලත් අංශ ප්‍රධානියා ඇයට අවවාද කර තිබේ. අවවාදය ගැන දන්නා අයට ඒ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවවාදයේ හොඳ වැඩිකම මේ සිසුවිය ගෙල වැලලාගැනීමෙන් පැහැදිලි වේ. සිද්ධියට සම්බන්ධ සිසුවාට කුමන සිද්ධියකට මුහුන දෙන්නට සිදු උනාද කියා ආරංචි නැතත් ඔහුටද ගැලවීමක් තිබේය කියා සිතන්නට නොහැක්කේ කුහකතවයන් කෙරෙහි අන්ධ භක්තියක් දක්වන්නන්ට අනුව ඔහුද මෙතැන වරදකරුවෙක් වීමට බොහෝ විට ඉඩ ඇති බැවිනි. 11 හැවිරිදි පාසල් දැරියක් එක්වරම ඉහල පන්තියක සිසුවෙකුට පෙම් හසුනක් ලිවීම අහඹු සිද්ධියක් වනවාට වඩා සිදුවන්නට ඉඩ තිබෙන්නේ මේ දෙදෙනා අතර සුළු කාලයක් හෝ රහසින් ප්‍රෙම සම්බන්ධයක් වර්ධනය වී තිබීමයි. ඇතැම් විට සිසුවාද මේ සිසුවියට පෙම් හසුන් ලියා තිබෙන්නට බොහෝදුරට ඉඩ තිබේ. මටනම් ඒ ගැන ගැටළුවක් නැති අතර මා ඒ ගැන පුදුම නොවෙමි.
පෙම් හසුනක් ලියා බලවත් වරදක් කළ 11 හැවිරිදි දැරිය කර තිබෙන වරදේ බරපතලකම වන්නේ පාසලේ බලධාරීන් වඳින පුදන ලිංගික කුහකත්වයේ බොරු ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමය. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඇතිකරගන්න පෙම් සබඳතාවයක් කියූ පමණින් පුරුෂ ශිෂ්ණයක් ස්ත්‍රී යෝනියක් තුලට ඇතුල්වන ආකාරය හිතේ මවාගෙන ඒ සඳහා ජෝඩුවට ඇති ලැයිසන් එක ගැන ප්‍රශ්න මතු කරන්නටත් ලැයිසන් එක නොමැතිකම ලෝකයේ ලොකුම පාපකර්මය ලෙස සලකා සියළු පරිභවයන් කිරීමටත් ඔවුන් දන්ඩනයට ලක්කිරීමටත් මේ කුහක මහා සදාචාරවාදීන්ට ඇත්තේ උපන් හපන්කමකි. එතැනිනුත් එහා යන මේ කුහකයන් තමන්ට සමාජයේ ප්‍රභූත්වයක් ඇතිකරගන්නට එය සුදුසුකමක් ලෙසද දකිති. ලිංගික කුහකත්වය අද අනියම් ආකාරයකට ගුරුවරුන් විදුහල්පතිවරුන් ආදී අධ්‍යාපන බලධාරීන් බවට පත්වීමේ සුදුසුකමක් වී තිබේ. මේ සිද්ධියේද ඇත්ත පසුබිම එයයි. පාසල් වයසේ පසුවන දරු දැරියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීම ගැන වෙනමම ගැටළු තිබුනත් එය අස්වාභාවික දෙයක් ලෙස හඳුනාගත නොහැක. එමෙන්ම පෙම් සබඳතාවයක් ඇති වූ පමණින් එය පාසල් විනයට පටහැනියැයි කීවද ස්වභාවිකත්වයට ඉහලින් පාසල් විනයට වැදගත්කමක් තිබිය නොහැක. එසේ තිබිය යුතුයැයි කිව හැක්කේ කුහකයන්ටය. පාසල් වියේ ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධකම් කෙටි කලකින් දෙදරා ගොස් නැතිවන අවස්ථා බොහෝය. එහෙත් පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් පාසල් පෙම් පලහිලවු වලට එරෙහි වන්නේත් සිසු සිසුවියන්ට දඬුවම් කරන්නේත් ඒ හේතුව නිසා නොවේ. ඔවුන්ට ඇති හේතුවනම් පෙම් සබඳතාවයක් හටගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය හා ඊට බලපාන ලිංගික ස්වභාවයයි. ඒ විරුද්ධ ලිංගික සම්බන්ධතා දෙස කුඩා ළමුන් හා සමාජය ඉදිරියේ බොරු නොරිස්සුම් සහගත බවක් ඇතිකරගෙන සත් ගුනවත් බවක් මවාගන්නා කුහකත්වයට ඔවුන් වැඳුම් පිදුම් කරන නිසාය.
තොරතුරු සහය