මේ සිද්ධියේ සැත්කමට පෙර ලබාදුන් එන්නත විෂවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ළමා රෝහලේ සේවය කළ ප්‍රියංගි අළුත්ගේ නම් වෛද්‍යවරියයි. ඇයගේ මරනයට වගකිවයුතුයැයි චෝදනාවට ලක්ව ඇත්තේද රූපවාහිනී වැඩසටහන් ඔස්සේ රූපලාවන්‍ය උපදෙස් ලබාදෙන ජනප්‍රිය වෛද්‍යවරයෙකු වන නිමල් ගමගේ මහතායි.
මියගිය වෛද්‍යවරිය සැකකාර වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයට ගොස් ඔහුගේ සේවය ලබාගෙන් තිබෙන්නේ ඇස් අවට සම පැහැපත් කරගැනීම සඳහායි. උදරයේ මේද තට්ටුවෙන් කොටස් ගෙන ඇස් අවට සමට යටින් තැන්පත් කිරීම මේ සැත්කමේදී සිදුකිරීමට නියමිතව තිබූ බව කියවේ. වෛද්‍යවරයා සැත්කමට පෙර ලබාදී ඇත්තේ ප්‍රතිජීවක එන්නතකි. එහි නම සෙෆියුරොක්සිම් බව ඔහු පොලීසියටද පවසා ඇත. එහිදී ඔහු වැඩිදුර කියා තිබුණේ මෙවැනි ශල්‍යකර්ම වලදී තමා මින් පෙර ප්‍රතිජීවක ලබාදීම සිදුකර නැති බව හා වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය සිදුකළ බවත්ය. සාමාන්‍ය වශයෙන් සැත්කමක් සිදුකිරීමේදී ඊට පෙර සැත්කමට භාජනය කරන පුද්ගලයා සිහි නැති කිරීම හෝ තාවකාලිකව නිර්වින්දනය කිරීම සිදු කරයි. මේ සිද්ධියේදී ඒ ගැන කළ පරීක්ෂණ වලින් අනාවරනය වී ඇත්තේ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ එවැනි සැත්කමක් කළයුතුව ඇති කෙනෙකු ඊට පෙර සූදානම් කිරීමට නිසි නිර්වින්දන කටයුතු කිරීම සඳහා පහසුකම් නොතිබී ඇති බවයි. නිමල් ගමගේ වෛද්‍යවරයා මියගිය ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරියට ප්‍රතිජීවකය එන්නත්කර අවසන් වීමටත් පෙරම ඇය රෝගාතුරු වී තිබේ. වෛද්‍යවරයා එම අවස්ථාවේ ඇය රෝහල්ගත කිරීමට ගෙන්වාගත් ගිලන් රිය පැය බාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන විට ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරිය මියගොස් අවසන්ව සිට ඇත. මා මෙසේ ඉදිරිපත් කළේ සිද්ධියේ සාරාංශයයි.
සිද්ධිය ඔය ආකාරයෙන් වී තිබියදී ඒ ගැන ලංකාවේ පුවත් වාර්තා කරන වෙබ් හා බ්ලොග් අඩවි ඇතුළු වෙබ් පිටු බොහොමයක මේ ගැන විවිධ මට්ටමේ විවේචන පල වුනා. මේ ගැන ලියවුනු ඇතැම් ලිපි වලින් හා ඒවාට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර වලින් සිද්ධියට අදාල වෛද්‍යවරිය හම පැහැපත් කරගැනීමට දැක්වූ උනන්දුව ගැනද තරමක් දොස් කියා තිබුණා. එක්තරා සමාජවාදී බ්ලොග් අඩවියකින් සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම දෝශාරෝපනය කර තිබුණේ එයද ඔවුන්ට පුරුදු පරිදි ධනවාදයට ගැටගසමිනි. මාස්වාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් කෙරෙහි දක්වන ආකල්පය ගැන මා මින් පෙර ලිපියේ බොහෝ කරුණු කියා ඇත. මා හට මෙහිදී කිරීමට අවශ්‍ය වන්නේ මෙවැනි සිදුවීම වල වරද ඇත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූප ස්වභාවය වර්ධනය කරගැනීමට දක්වන ආශාවේ නොව අනාරක්ෂිත ලෙස නුසුදුසු පුද්ගලයන් ලවා එම කටයුතු කරගැනීමට යෑමේ බව පෙන්වා දෙමින් විචාරශීලීව කරුනු ටිකක් පැහැදිලි කිරීමය.
පළමුව කියන්නේ මිනිස් ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවය අනුව ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ස්වභාවයෙන් පිහිටා තිබෙන සුවිශේෂී ලක්ෂණ හඳුනාගැනීමත් ඊට ආකර්ශනයක් දැක්වීමත් සාමාන්‍ය දෙයක් යන්න හා එය මානව සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් පැවතිය යුත්තක් යන්නයි. කාන්තාවන්ගේ ප්‍රසන්න පෙනුම ස්ත්‍රීත්වයේ ස්වභාවයට අයත් විශේෂිත ලක්ෂණයක් වේ. එබැවින් කාන්තාවන් පිරිමින්ට ලිංගික වශයෙන් ආකර්ශනය දැනවීම හා සමාජයට පෙනුමෙන් ප්‍රසන්න වීම මානව ප්‍රජාව තුල අනිවාර්ය හා අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වී තිබෙන්නේ නිරායාසයෙනි. මේ අනුව කාන්තාවන් ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල ස්වකීය පෙනුම හා ප්‍රසන්න බව පවත්වාගැනීමටත් එය හැකිපමණ වර්ධනය කරගැනීමටත් පෙළඹෙන්නේ ස්වභාවධර්මයේම ආචරනයක් ලෙසයි. මෙයට ඇතමුන් කියන පරිදි ඇති නැති පරතරයක් බලපාන්නේ නැත. හැමෝම තමන්ට හැකි උපරිම ලෙස මේ දෙය සිදුකරනු ලබති. එහි වරදක්ද කොහෙත්ම පෙනෙන්නට නැත. මේ සරල කරුනු කාරනා ටික තේරෙන කාට උනත් ඇස් අවට සම පැහැඇපත් කරගන්න වෛද්‍යවරියට තිබුණ අවශ්‍යතාවය සාධාරනයි කියන එක තේරුම්ගන්න පුලුවන්.
සැබවින්ම මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාට විශේෂ වන ලක්ෂණ වලින්. ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස එකිනෙකාට සුවිශේෂී ශාරීරික හා මානසික ස්වභාවයන් කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වෙලා තියෙන්නේ විශිෂ්ඨ වූ මානව ලක්ෂණයක් හැටියට. මානව ප්‍රජාව තුල පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට වෙන් වෙන්ව විශේෂනය වූ හැසිරීම් රටා හා ක්‍රියාකාරකම් ගොඩනැගී තිබෙන්නේ පරිනාමීය වශයෙනුත් උසස් මිනිස් ලක්ෂණයන් ලෙසයි. යම්කිසි සංස්කෘතික පසුබිමක් සැලකීමේදී ඒ තුල කාන්තාවන් හා පිරිමින් එකිනෙකාට විශේෂී ශාරීරික හා මානසික ලක්ෂණ අනුව එකිනෙකාගෙන් වෙනස් ආකාරයට හැඩගැසීම සිදුවන්නේ සමාජයේම යහ පැවැත්මට අවශ්‍ය ආකාරයට මිස කාටවත් අවැඩක් කිරීම පිණිස නොවේ. එහෙත් තමන්ගේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටවත් ගරු නොකරන කුහකයන්නම් මේ ලක්ෂණයන්ට නිරතුරුව බැට දෙති. ඒ ඔවුන් විසින්ම බොරු සුදන ගුණයක්ද මවාගනිමින්ය. මෙවැන්නන් කිසිවිට ස්ත්‍රී අවශ්‍යතා හා කාන්තාවන්ට ආවේනික වූ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාවක ලිංගික සමබරතාවය රැකගැනීමට ඉවහල් වන ආකාරය පිළිනොගනිති.
වෛද්‍ය ප්‍රියංගි අළුත්ගේ මියයෑමේ සිද්ධියේදීද අවධානය යොමුකළයුතු කාරනා එමට තිබේ. පළමුවැන්න ආන්දෝලනාත්මක සැත්කම කිරීමට ගිය නිමල් ගමගේ වෛද්‍යවරයා ශල්‍යකර්ම කිරීමට සුදුසුකම් ඇති අයෙකු නොවීමයි. අනෙක ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යවෛද්‍ය විද්‍යානුකූල පසුබිමක් හා ඒ සඳහා පහසුකම් නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ තිබී නැත. එයත් ගැටළුවකි. මේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ සේවයකර ඇත්තේද සැත්කම් වැනි බරපතල වෛද්‍ය කටයුතු වලට සහය වීමට සුදුසු සේවක පිරිසක්ද නොවේ. එයත් අප අවධානයට ලක්වියයුතු දුර්වලකමකි. දොස්තර නිමල් ගමගේ සැත්කම කරන්නට ගොස් තිබෙන ආකාරය ගැනද ගැටළු ඔහුගේම ප්‍රකාශ වලින් දැකගත හැක. ඔහු සැත්කමට පෙර නිර්වින්දන ක්‍රමවේදයක් අනුගමනය කරන්නට මත්තෙන් මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීමට ඇයට විශවූ ප්‍රතිජීවක එන්නත ලබාදී තිබේ. වෛද්‍යවරයා කියා ඇත්තේද ඔහු වෙනත් අයට මෙලෙස ප්‍රතිජීවක දී නොමැති බව හා මියගිය වෛද්‍යවරීයගේ ඉල්ලීමට එය කළ බවයි. ඔහු ශල්‍යකර්ම කිරීමට සුදුස්සෙක්නම් හා වගකීමෙන් යුතුව එම කාර්‍ය කරන අයෙක්නම් මෙවැනි දෙයක් කරන්නේ නැත. එන්නත වෛද්‍යවරියගේ ගෙල ප්‍රදේශයට එන්නත් කර තිබෙන්නේද නහර සොයාගැනීමට අපහසු වුනා යැයි කියමිනි. සියල්ලට වඩා අපේ අවධානය යොමුවියයුත්තක් මෙතන ඇත. ඒ මියගිය වෛද්‍යවරියද බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකයේ සේවය කළ අයෙකු වීම ගැනයි. කරුණ එසේනම් ඇයටද මෙවැනි ශල්‍යකර්ම ගැන පැහැදිලි දැනුමක් තිබී ඇත. එසේ තිබියදීත් සැත්කම් කිරීමට සුදුසුකමක් නැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලවා මේ සැත්කම කරගැනීමට යෑම ගැනත් තිබෙන්නේ සුලුපටු ගැටළුසහගත බවක් නොවේ.