Pages

Thursday, February 12, 2015

කොයි අතට කැරකෙයිද?


ජනධිපතිවරනය අවසන් වී ඇත. ප්‍රමාද වී හෝ මේ සිදුවීම් අල්ලා ලිපියක් එක්කළ යුතු යැයි හැඟී ගිය හෙයින් මෙය ලියමි. ජනාධිපතිවරනයට පෙර මා ලියූ අවසන් ලිපියෙන් පෙන්වාදුන්නේ ලිංගික කුහකත්වයන් ස්වභාවිකත්වයට අනුකූල සැබෑ ලිංගික නිදහස සමග සංසන්දනය කර, මෛත්‍රී හා මහින්ද දෙපිලේ සටනින් එක් එක් පාර්ශවය ජයගතහොත් සිදු වීමට ඉඩ ඇති දේ වෙන් වෙන්ව පෙන්වා දීමටය. ඒත් සමගම අවසානයට මා ඇඟවූයේ මෛත්‍රී පිල වටා සිටින බටහිරට වඩා හිතවත් පිරිස බලවත් වුවහොත් බටහිර සමාජයේ සැබෑ යහ ගුනාංග වලටත් වඩා ලිංගික කුහකත්වයන් මත පදනම් වන ස්ත්‍රීවාදය සමලිංගික වාදය වැනි දේ රටට ඇතුල් වී ස්වදේශීය කුහකත්වයන් මත  පදනම් වන බොරු සාරධර්ම සමග කලවම් වී මහා පීඩාවක් විය හැකි බවත්, මහින්ද පිල ජය ගතහොත් බටහිර කුහකත්වයන් දුබල වුවත් ස්වදේශීය බොරු සාරධර්ම බලවත් විය හැකි බවත්ය. ලිපිය අවසානයට මා කීවේ බටහිර කුහකත්වයන් හා ස්වදේශීය බොරු සාරධර්ම කලවම් වී මහා සමාජ පීඩාවක් වනවාට වඩා මහින්ද පිල ජයගෙන ස්වදේශීය බොරු සාරධර්ම වලින් පමණක් බැටකෑම තරමක් හෝ යහපත් බැවින් එම අවස්ථාවට උචිත ලෙස මහින්ද මහතාගේ ජය අපේක්ෂා කළයුතු බවයි. නමුත් සිදු වූයේ එහි අනෙක් පැත්තයි. එබැවින් ඒ හා සම්බන්ධව දැන් පැනනැගියහැකි ගැටළු ගැන පසු විපරමක් කළ යුතු යැයි සිතේ.
                                                      

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මින් පෙර ලිපි වල බොහෝසෙයින් කරුනු කියා ඇති බැවින් ඒ ගැන නැවත නැවතත් කීමට අදහස් නොකරමි. කෙටියෙන් කිවහොත් ලිංගික ස්වභාවයට හා ස්වභාවධර්මයට අනුකූල ලිංගික ක්‍රියාකාරකම් විරුද්ධ ලිංගික ආකර්ෂණය ලිංගික බැඳීම වඩා අර්ථවත් වන එමෙන්ම ශක්තිමත් වන පිළිගත් ක්‍රියාපටිපාටියක් ප්‍රරජාවක් තුල නිසි ප්‍රමිතියකට පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීමට කුහකත්වයන්ගේ බලපෑමෙන් තොරව තිබිය යුතු ඉඩ ප්‍රස්ථාව අපට සැබෑ ලිංගික නිදහස හැටියට හඳුනාගත හැකියි. බොරු නිදහස පදනම් වන්නේ කුහකත්වයන් මත වේ. මෙහිදී අප දේශපාලන ප්‍රවාහයන්ට තිබෙන බටහිර බලපෑම් ගැන අවබෝධයකින් දැන් සිදුවී තිබෙන දේශපාලන පෙරලියේ බලපෑම ගැන ලිවීම වඩා යෝග්‍ය වේ. බටහිර සමාජයේ සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස යන අංග දෙකම දැකිය හැකි අතර මේ වන විට කුහකත්වයන් හා බොරු ලිංගික නිදහස තරමක් ඉදිරියට පැමිණ ඇත ඒ කාර්මික විප්ලවයෙන් හා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලිංගික නිදහස යන්නට කාන්තා නිදහස යනුවෙන් සංකල්පයක් එක්වීම තුලයි. මෙය ස්ත්‍රීවාදය ලෙස අනන්‍ය වී තිබුණත් එයට පසුබිම් වී තිබුණේ ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයෙන් පිට යන හුදු සුළුතරයක් කුහක පුරුෂ ප්‍රජාවගේ කුහක ගති පැවතුම් සමුදායකි. ලාංකීය සමාජය සැලකිල්ලට ගත්තද සැබෑ ලිංගික නිදහසක් ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් හා ප්‍රජනනය ඇසුරෙන් හඳුනා ගන්නට හැකි වනවා මෙන්ම ලිංගික කුහකත්වයන් මත ස්වභාවය පිළිකුල් කරමින් පිරිමි මෙන් ක්‍රියාකරන කාන්තාවන් වීරත්වයට නැගීම වැනි ක්‍රියාකාරකම් මත එවැනි කාන්තාවන්ගේ නිදහස ඇසුරෙන් යන බොරු ලිංගික නිදහසක්ද හඳුනාගත හැක.
                                                            යටත් විජිත සමයකින් පසු නිදහස ලැබූ ලංකාවේ බටහිර සියල්ල අන්ධයන් මෙන් අනුකරනය කරන පිරිසක් නිර්මාණය වී තිබීම තුලින් එම පිරිස ලිංගිකත්වය සම්බන්ධවද බටහිර මතවාදයන් ගෙඩි පිටින් ගිලින තත්වයක් ඇති වී තිබේ. අනෙක් සිද්ධිය මෙරට ස්වදේශීය වශයෙන් එතරම් බලවත්ව නොතිබුණු ලිංගික කුහකත්වයන් බටහිර ආකෘතිය අනුව සකස් වූ පාසල් අධ්‍යාපනයට මුහු වී තිබීම තුල රට තුලට බටහිරින්ද ලිංගිකත්වය හා සබැඳි සැබෑ ගුණාංග වලට වඩා කුහකත්වයන් පසුබිම් වූ මතවාද ඇතුල් වීම වේගවත් වීමයි. පසුගිය තීරනාත්මක ජනාධිපතිවරනය පැවැත්වෙන මොහොත වන විටද රටේ පැවතියේ මේ තත්වයයි. එබැවින් ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකට පිරිස් බලමුලු එක් වූ ආකාරය ලිංගිකත්වය පදනමට ගත් දෘෂ්ඨි කෝණයකින් බලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබී අවසන් ව තාවකාලික රජයක්ද බිහි වී ඇති මේ අවස්ථාවේ යම් විචාරයක් කිරීමේදීද එම තත්වය සැලකිල්ලට ගැනීම වැදගත්ය. එසේ නොකර මේ සම්බන්ධ නිවැරදි හා පුළුල් විචාරයක් කළ නොහැකි වේ. 
                              

  ජනාධිපතිවරනයට පෙර සිට මහින්ද රාජපක්ෂ මහතාගේ පිලටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලටත් පිරිස් එක් රැස් වූ ආකාරය ගැන ලිංගිකත්වය පදනමට ගත් විග්‍රහයක් කිරීමද මෙහිදී වැදගත්ම දෙයකි. බටහිර ලිබරල් නූතනවාදී ස්ත්‍රීවාදී හා සමලිංගික වාදී මතවාද කරපින්නාගත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ලංකාවේ පස්චාත් නූතනවාදීන් මෙන්ම ඇතැම් සමාජවාදී කොටස් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක් රොක් වූහ. මෛත්‍රීපාල මහතා ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර මතවාද කරපින්නාගත් පුද්ගලයෙක් යැයි මා අදහස් කරන්නේ නැත. නමුත් ඔහු බටහිර මතධාරීන්ගේ දේශපාලන උගුලක හසු වූ බවනම් මට හැඟෙයි. ජනාධිපතිවරන සමයේ මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක් වූයේ ලිංගිකත්වය සම්බන්ධයෙන්ද ස්වදේශීය මතධාරීන්ය. මේ පිරිස අතර ස්වදේශීය ලිංගික කුහකත්වයන් අදහන පිරිසක් අනිවාර්‍ය ලෙස සිටින්නට ඇත. අවසානයේ චන්දයෙන් ජයගත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු ලිංගික කාරනා සම්බන්ධව බටහිර මතධාරියෙක් නොවුනත් මේ ජයග්‍රහනය හරහා ශක්තිමත් උනේ ලිංගිකත්වයට අදාල වූ බටහිර මතවාදයන්වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම තුලින්ද මේ තත්වය තවත් තහවරු විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද පොදු අපේක්ෂකයා වටා සිටි තවත් ප්‍රභලම චරිතයකි ඇයද ස්ත්‍රීවාදය ඇතුලු බටහිර කුහක මතවාදයන් ලාංකීය ජන සමාජයට ඇතුල් කිරීමට වෙර දැරූ අයෙක් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ පැවති දූෂිත බවත් පොදු අපේක්ෂකයාට සුළු ජන වර්ග වල චන්ද මහා පරිමාණයෙන් ලැබීමත් හේතු කරගෙන මහින්ද මහතා පරාජයට පත්විය. මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහනය පසුපස වෙනත් බොහෝ කරුනු තිබේ. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජය සමග ලිංගිකත්වය සම්බන්ධයෙන් දේශීය මතධාරීන්ගේ ක්‍රියාකලාපය අභිබවා ඒ පිළිබඳ බටහිර මතධාරීන්ගේ ක්‍රියාකාරීතවය ඉස්මතු වීමේ ඉඩක්නම් ඇති බව කිවයුතුය. මාහට පෙන්වාදීමට අවශ්‍ය වැදගත් කාරනයනම් මෙතැනදී ලිංගිකත්වය හා සබැඳුනු බටහිර කුහකත්වයන් හා ස්වදේශීය කුහකත්වයන් එකට කළවම් වී ලාංකීය සමාජය තුල තිබූ ලිංගිකත්වය වටා ගොනු වන සැබෑ සාරධර්මයන් යටපත්වීමට යම් ඉඩකඩක් ඇති බවයි.
                   
   රනිල් වික්‍රමසිංහ මහතාගේ හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශවය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ බටහිර නූතනවාදී ලිබරල්වාදී ප්‍රතිපත්ති සමුදායක් වේ. චන්දය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ප්‍රතිපත්ති සමග එකට සිටින්නට නොහැකි වන්නේ ඔහු නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප යට මතවාදී වශයෙන් ඇති ස්වදේශීය නැඹුරුව නිසාය. කෙසේ හෝ වේවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වුවද ඔහුට වඩා ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වූ බටහිර නැඹුරුවක් ඇති පාර්ශවය බලවත් වන බව පෙනෙනට ඇත. මෙතැනදී ලාංකීය සමාජය තුල ප්‍රතික්ෂේප වෙමින් තිබූ බටහිර කුහක මතවාදයන් නැවත සක්‍රීය වීමේ අවධානමක් ඇතිබව කල්තියා කීමට අවශ්‍යය. මෙවැනි තත්වයක් උදා නොවියයුතු යැයි මාහට හැඟී යන්නේ එතුලින් අප සමාජය තුල ගොඩනැගෙන අපට නුහුරු අප්‍රසන්න ලිංගික පීඩාව, මානසික පීඩනය මෙන්ම, අවසානයට මුලු මහත් ලාංකීය ජනසමාජය විනාශය කරා ගෙනයා හැකි වෛරී විෂබීජයක් අප සමාජය තුලින්ම ජනිත වීමට ඇති ඉඩකඩ නිසා වෙයි. කොයි දේ කොහොම උනත් මැතිවරනය ජයගත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එතුමා නායකත්වය දෙන වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇත්තේ ලිංගිකත්වය සම්බන්ධව බලන කළ ස්වදේශීය මතවාදී නැඹුරුවකි. එබැවින් මෛත්‍රීපාල මහතාවත් ඔහුගේ පාක්ෂිකයින්වත් ලිංගිකත්වයට සම්බන්ධ බටහිර මතවාදයන් තුලට යා යුතු නැත. එසේ වූ පමණින් ඔවුන් ස්වදේශීය කුහකත්වයන් ඇදහිය යුතු යැයි මා කියන්නට යන්නේ ද නැත. තව ඉදිරියේදී හතර වටින් ස්ත්‍රීවාදීන් මවාපාන ව්‍යාජ දුක් අඳෝනා අප සවනටද වද දෙනු ඇත. දරුවන් පවුලෙන් හා මවු පියන්ගෙන් ඈත් කරවන්නට ඔවුන්ගේ මනසට විෂබීජ ඇතුල් වනු ඇත. ලිංග බේදයක් අවශ්‍ය නැතැයි කියමින් සමලිංගිකවාදීන්ගේ මතවාද සූක්ෂමව සමාජගත කරවන්නට වැඩසටහන් දියත්වනු ඇත. මේ සියළු දෑ සිදු වන්නට පෙර හඳුනාගෙන වලක්වා දැමීමට අප සංවේදීව පෙළගැසියයුතු වේ. අඩු තරමින් මේ ක්‍රියාදාමය ඉදිරියට ඇදෙන මුල් අවධියේම හඳුනාගෙන එය පරාජයට පත්කිරීම ඉතා වැදගත් බවද කීමට උවමනාය. අප බලාපොරොත්තු වියයුත්තේ ස්වදේශීය හා බටහිර කුහකත්වයන්ගෙන් බැටකන ලිංගික පීඩනය උත්සන්න වූ සමාජ තත්වයක් නොවේ. ලිංගිකත්වය හා බැඳුනු බටහිර මතවාද වලට යට වීමට මෙරට දේශපාලන ප්‍රවාහ එකතුවේ අති මහත් බහුතරයකට අවංකව නොහැකි බැවින් මෙහිදී අප බලාපොරොත්තු වියයුතු එම කාරනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමට පැහැදිලිව හැකියාවක්ද තිබේ.

3 comments:

  1. මමනම් හිතන්නෙ නෑ ඊලඟ පාර චන්දෙදි එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙයි කියලා. ඒක නිසා මේ ලිපියේ තියෙන විදිහට බටහිරට නැඹුරුවක් ඇතිවෙන්න නම් ඉඩක් තියෙන එකක් නෑ. මටනම් දින 100 ත් විශ්වාස නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් තත්වේ තව භයානකයි. මහ මැතිවරනයෙන් සන්ධානය දිනුවේ නැත්නම් අනිවාර්ය ලෙසම වෙන්නේ බටහිර මතවාදී ආධිපත්‍ය ශක්තිමත් වෙලා ලිපියේ පෙන්වාදෙන කරුනු වල එක පැත්තක් වන බටහිර කුහකත්වයන් මෙරට සමාජය විකුර්ති කරන එක.

      Delete
  2. ඔබ අවසන් පරිච්චේදයේ කියපු කාරනා ටිකනම් වෙයි ලඟදීම. මාධ්‍ය පුරාවටම බටහිරට නැඹුරු මතවාද අදහස් වපුරයි ලිංගිකත්වය ගැන.

    ReplyDelete