Pages

Monday, July 27, 2015

ජාතික නිදහස් පෙරමුණට උත්තමාචාරය

මීට කලින් ලියූ ලිපියෙන් පෙන්වා දුන්නේ වත්මන් යහපාලන රජය ජාත්‍යන්තරය හමුවේ තමන් සමලිංගිකත්වයට පක්ෂ බවක් අඟවා රටේ ප්‍රතිරූපයට කළ හානිය ගැනය. අවාසනාවට යහපාලන ආණ්ඩුවේ අනෙකුත් සියළු වැරදි හොයමින් රජය රටටත් ජාතියටත් කරන හානිය ගැන කෑ ගසන ජාතික බලවේගය මේ ප්‍රශ්නය මගහැර හීන් සීරුවේ ලෙස්සා ගොස් තිබේ. අනෙක් සියළු ජාති ද්‍රෝහී රටට එරෙහි විදෙස් කුමන්ත්‍රණ ජාතික බලවේගයේ ඇන්ටනාවට අහුවෙද්දී මෙය විතරක් මගහැරුනා යැයි අපට සිහිනෙන්වත් සිතන්නටනම් බැරිය. එසේනම් මේ ජාතික බලවේග යැයි කියාගන්නා උතුම් සිංහල බෞද්ධ සංවිධාන මේ ප්‍රශ්නය හමුවේ අඳ ගොලු බීරී චරිත රඟදැක්වූයේ ඇයි?
                 මාහට හැඟී යන මූලිකම දෙය නම් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන ප්‍රමුඛ ජාතික බලවේගයට ලිංගිකත්වයට අදාල විෂය පථය සම්බන්ධ කිසිදු පැහැදිලි මතයක් හෝ පැහැදිලි ස්ථාවරයක් නොතිබීමයි. මෙහිදී අප සමාජයටම ආවේනික ලිංගික කුහකත්වයන් ජාතික බලවේගය තුලද නැතැයි අපට කිසිසේත් හිතන්නට බැරිය. මේ කුහකත්වයන් විශේෂයෙන් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමටත් අදහස් දැක්වීමටත් සිංහල සමාජය තුල මැලිකමක් ඇති කරනවාට සැකයක් නැත.නමුත් එය එසේ වීම නිවැරදි වන්නේ එක්තරා කොන්දේසි සහිත සීමාවක් තුල පමණි. මූලිකව ගත් කල ප්‍රජාව තුල පුරුෂ හා ස්ත්‍රී ජනගහනයන් වෙන් වෙන් වශයෙන් තම ලිංගික අනන්‍යතා ශාරීරිකවත් මානසිකවත් ගොඩනගා ගන්නා විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රීය වූ විෂමලිංගිකත්වය පමණක් හඳුනාගත හැකි සමාජ වටපිටාවක ලිංගිකත්වය ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. අපේ රටේ මෑතක් වන තුරු එම තත්වය ඒ ආකාරයෙන් දැකිය හැකි විය. නමුත් සමාජයේ ලිංගික විශේෂනයන් දුර්වල කරමින් බටහිර යුරෝපීය පස්චාත් නූතනවාදී මුලාවන් හා ස්ත්‍රීවාදය ක්‍රමක්‍රමයෙන් අපේ සිංහල සමාජයද ආක්‍රමණය කරද්දී ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කළයුතු වන තත්වයක් නිතැතින්ම ඇතිවේ. මේ තත්වය අපේ සිංහල සමාජය ආක්‍රමණය කිරීමට පෙර එහි ආනිසංසය හඳුනා ගැනීමට හෝ එසේ හඳුනාගෙන ඊට එරෙහෙව ප්‍රතික්‍රියා දැක්වීමට අපේ අනර්ඝ ජාතික බලවේග  සංවේදීව කරයුතු නොකළ බවනම් අපට බය නැතිව කටක් ඇර කියන්නට හැකිය. එනයින් බලන කළ මෑතක ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩය රැස්වීමකදී ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය කෙරෙහි අපගේ අනර්ඝ වූ ජාතික බලවේගයන් දුර්වල ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම පුදුමයට කාරනයක් නොවේ.
              

                
           මා හට කීමට විශේෂයෙන් අවශ්‍ය වන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටින මේ ජාතික බලවේගය ලිංගිකත්වය සම්බන්ධ වැදගත් කාරනා වලදී සංවේදීව කටයුතු නොකිරීම අපේ සමාජය පැත්තෙන්ම බලන විටදී කනගාටුදායක සිද්ධියක් බවයි. මෑතක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී සමලිංගික සහවාසයන්ට විරුද්ධව රුසියාව විසින් ඉදිරිපත් කළ වැදගත් යෝජනාවට පයින් ගැසූ ශ්‍රී ලාංකික නියෝජිතයා එසේ කළේ හුදු රුසියානු විරෝධී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය නිසාම නොව එක්සත් ජාතික පක්ෂ රජය ලිංගිකත්වය සම්බන්ධයෙන් දරන මතය අනුවද ඔවුන් සමලිංගිකත්වයට පක්ෂ නිසාය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය බටහිර රටවල් දැඩිව අනුකරනය කරන බවත් බටහිර ලිංගික කුහකත්වයන් මත සමලිංගික සේවනය නීතියෙන් පිලිගැනීම හා පුරුෂයන්ගේ  කුහකත්වයෙන් පිටට පැන්න ස්ත්‍රීවාදය අපේ රටටත් වලංගු ලෙස ගන්නා බව ජනාධිපතිවරනයට පෙර ඉදිරිපත් කළ ලිපියෙන් පෙන්වා දුන්නේ මෙරට දේශපාලනය තුල එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව හා එය ලිංගික කාරනා සම්බන්ධයෙන් යුරෝපීය පස්චාත් නූතනවාදය ආදියේ  කුහකත්වයන් ගෙඩි පිටින් ගිල දමා ඇති ආකාරයද පෙන්වා දෙමිනි. එලෙසම මා පෙන්වා දුන් අනෙක් කාරනය වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඇතුළු දේශීය කණ්ඩායම් තුල හැංගී ඇති ස්වදේශීය ලිංගික කුහකත්වයන් මොනවාද යන්නයි. අනෙකුත් සියළු එක්සත් ජාතික පක්ෂ ජාති ද්‍රෝහීකම් සිය ඇන්ටනා කනු වලට අහු වෙද්දී ලිංගිකත්වය සම්බන්ධ වැදගත් කාරනයක් රටේ ජාතික බලවේගයට මගහැරීම මෙකී දෙවනි කාරනාවත් සමග බැඳෙයි.
                              

සිංහලයේ මහා ගාම්භීර ජාතික බලවේග මුනිවත රකිද්දී සිංහල බෞද්ධ අනන්‍යතාවයක් එතරම්ම දක්නට නැති විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයේ රට අවමානයට ලක්කළ ක්‍රියාව ගැන ඉතා සංවේදීව කතා කළේය. එහිදීද සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවූ මොහොමඩ් මුසම්මිල් මහතා  ඉතා නිවැරදිව ප්‍රශ්නය හඳුනාගෙන ඊට එරෙහිව සක්‍රීය ලෙස යම් ප්‍රතිචාරයක් දැක්වීම ඉතා ප්‍රශංසනීය වනවා පමණක් නොව සිංහල බෞද්ධ යැයි කියාගන්නා සිල්වත් බකපණ්ඩිතයන්ට හොඳ ආදර්ශයක්ද ලබා දුනි. මොහොමඩ් මුසම්මිල් මහතා එහිදී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලංකාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතින රටක්  යන්න හා දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි සංස්කෘතීන්ද ඒවටා තිබෙන බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂය ලිංගිකත්වය ගැන දරන මතය රටේ මතය ලෙස හුවා දැක්වීම බරපතල වරදක් බවයි. අනෙක් සෑම ජාතික ගැටළුවකදීම වල්ගය ගිනි තබාගත් හනුමන්තා මෙන් හැසිරෙන ජාතික බලවේගයට මුසම්මිල් මහතා හොඳ ආදර්ශයක් මෙහිදී ලබා දුන් බව කිවයුත්තක් නොවේ. රටටම ආවේනික කුහකත්වයන් කරපින්නාගෙන බටහිර විද්‍යාඥ්ඥයන්ගේ දැක්මට අනුව බුදු දහමද දකිමින් බටහිර ලිංගික කුහකත්වයනුත් බුදු දහම සමග හරහට ගැටගසාගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන දේ වල අනිත්‍යතාවය පමණක් මහ ඉහලින් උලුප්පන ගමන් අනෙක් සියළු සැප සම්පත් වලට ඇලී ගැලීම ගැන අඩුවෙන් කතාකිරීම සිංහල බෞද්ධ බොරු සිල්වතුන්ට කලක් තිස්සේ හුරු වූවකි. මෙය සිංහල බෞද්ධ ජාතික බලවේගයේද දකින්නට ඇත. ජාතික නිදහස් පෙරමුණේ සිංහල නොවන බෞද්ධද නොවන මොහොමඩ් මුසම්මිල් මහතා තරමට විජාතික එක්සත් ජාතිකපක්ෂයේ ලිංගිකත්වය සම්බන්ධ ස්ථාවරය සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිකවාදීන්ට ගැටළුවක් නොවුනේ ඒ නිසාය.
                              
 
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතාද මේ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ ආකාරය අපට කිසි සේත් අමතක කළ නොහැක. එබැවින් ඔහුටද අප සිංහලයන් ලෙස කෘතවේදීත්වය පල කළ යුතුය. සිංහල බෞද්ධයන්ගේ මූනේ දැලි ගෑ එක්සත් ජතික පක්ෂ අමනයන්ගේ ක්‍රියාකලාපය විමල් වීරවංශ මහතා විසින් දිගින් දිගටම විවේචනය කර ඇත. එක්සත් ජාතික පක්ෂය විශමලිංගිකත්වය හා ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන් කුහකකමෙන් විකුර්ති කරදමන බටහිර ක්‍රියාකලාපයන් ඒ ආකාරයෙන් අනුමත කරයි. බටහිර අනෙකුත් සියළු ආක්‍රමණයන් ගැන කලබල වෙන සිංහල බෞද්ධ ජාතික බලවේගය එක්සත් ජාතික පක්ෂයේ බලයෙන් රටතුල ඉදිරියට සිදුවන්නට යන ලිංගික කාරනා සම්බන්ධ විකුර්ති මනෝභාවයන් වර්ධනය කිරීමේ මහා පරිමාණ සමාජ ආක්‍රමණය හමුවේ ගොලුවත රකියි. ඒ ගැන කරුණු මාධ්‍ය ඔස්සේද වඩා පුළුල් ලෙස ප්‍රචාරය උනානම් සිංහල බෞද්ධ ජනතාවගෙන් කුහකයන් නොවන බහුතරය ඊට වඩා සංවේදී වෙමින් එක්සත් ජාතික පක්ෂ රජය ලිංගිකතත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිකුලෙන් බැහැර කරනු ඇත. රටේ ජාතික බලවේග වල ලිංගික කාරනා ගැන අවශ්‍ය විටකදීවත් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන බොරු හැදියාව මේ අවාසනාවන්ත සිද්ධිය ගැන තොරතුරු සිංහල බෞද්ධ ජන සමාජයෙන් වසන් කිරීමටනම් ඉවහල් වී ඇත. එවැනි කාලකන්නි තත්වයක් යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා හා විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණ ඒ සිදුවීම කෙරෙහි සංවේදීව කටයුතු කරමින් රටේ සිංහල බෞද්ධ ජාතික බලවේගය විසින් පැහැර හැරි වගකීමක්ද නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් අපගේ උත්තමාචාරය ඔවුන්ට හිමි විය යුතුය.

3 comments:

  1. ජාතික බලවේග වලට මෙතනදි තදින් දෝශාරෝපනය කරන්නත් බෑ. ඇත්තෙන්ම ජාතික බලවේග සිංහලකම බෞද්ධකම වෙනුවෙන් පෙනී හිටින සංවිධාන සමලිංගිකත්වයට තදින්ම විරුද්ධයි. ජාතික බලවේග මේ වගේ කාරනා ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීම විතරයි යම් අඩුපාඩුවකට තියෙන්නේ. ඒක ලොකු දුර්වලකමක්ම නෙවෙයි. නමුත් මේ ගැන අපි කාටත් කතා කරන්න කාලයක් නුදුරේදීම එළඹෙයි කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ජාතික බලවේග වල සියළු දෙනා සමලිංගිකත්වයට එරෙහියි. මේ ගැන කතා කළේ නැතුවට ගොඩ දෙනෙක් සමලිංගිකත්වයට පාර කපා දෙන සමාජීය දුර්වලකම් අඳුරනවා. ඔවුන් ඒ කිසිවක් පෝෂණය කරන්නේ නෑ. නමුත් ජාතික බලවේග තුල සමහරෙක් ඉන්නවා බටහිර නූතනත්වය පිළිගන්න. ඒ අය සාමාන්‍යයෙන් බුදු දහම නවීන විද්‍යාවෙන් ඔප්පු කිරීම කාන්තා විමුක්තිය බුදුන්වහන්සේ විසින් මුලින්ම ලබා දුන්නා යැයි කීම වගේ දේවල් කරනවා. ඔන්න ඔය කාණ්ඩේ ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකර සමලිංගිකත්වයට පාර කපා දෙන අනෙකුත් පරිවාර ක්‍රියාකාරකම් බටහිර නූතනත්වය හා ඊනියා විද්‍යාත්මක බුදු දහම සමග වැරදි ලෙස ගලපා ගනිමින් පෝෂණය කිරීමටත් යනවා. ඔන්න ඔය එකකට එකක් පරස්පරයන් ජාතික බලවේග ඇතුලේ දක්නට තියෙනවා.

      Delete
    2. ජාතික බලවේග වල බොහොමයක් මේ ප්‍රශ්නය තේරුම්ගෙන තියෙනවනම් අනෙක් පැත්තෙන් ජාතික බලවේගයේ බහුතරයකට මේ ගැන විරෝධයක් ඇත්නම් ඇයි අර වගේ ජාත්‍යන්තර මට්ටමේ අවලම් වැඩක් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙක් කරද්දී අනෙක් හැම ප්‍රශ්නෙදිම එක්සත් ජාතික පක්ෂයට වැරෙන් පහර දෙන ජාතික බලවේගය ඒ ගැන කතා කළයුතුම මොහොතක වගකීම පැහැර හරිමින් ගොළුවත රැක පැත්තක සිටියේ?

      Delete