Pages

Showing posts with label පුරුෂයා. Show all posts
Showing posts with label පුරුෂයා. Show all posts

Saturday, April 5, 2014

අමුඩය ගැන යමක්



මීට ටික කළකට පෙර අමුඩය ගසාගෙන මිනිසුන් කුඹුරු වැඩ කරන දර්ශනය ලංකාවේ සාමාන්‍ය දෙයක් විය. එහෙත දැන් එම දර්ශනය සුලබව දක්නට ලැබෙන්නේ තරමක් පිටිසරබද ප්‍රදේශ වල පමණය. නාගරික සමාජයේ මේ දර්ශනය දක්නට ඇත්තේම නැත. නාගරික පිරිස අතර වර්තමාන පරපුර ඇතැම් විට අමුඩය ගැන දන්නේද නැතිවීමට ඉඩ ඇත. මේ කියන්නට යන්නේ අමුඩය ගැන සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු නොදන්නා කරුනු ටිකකි.
                             අමුඩය යන්න අපේ රටේ පිරිමි පාර්ශවයට සුවිශේෂ සම්ප්‍රදායානුකූල ඇඳුමක් හැටියට අප හඳුනාගෙන ඇතත් වෙනත් රටවල වෙනස් සමාජ පසුබිම්වලද පිරිමි පාර්ශවය අමුඩයට සමාන ඇඳුම් අඳිති. ඒ පොදුවේ ගත්කළ ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල පිරිමි පාර්ශවය වැඩිපුර ශක්තිය වැයකරමින් මහන්සියෙන් යම් යම් කාර්‍යයන් කරන බැවිනි. එහිදී අමුඩය ඊට වඩා යෝග්‍ය ඇඳුමක් වූවාට කිසිම සැකයක් නැත.
                              අමුඩය වටා ගොඩනැගුන සිරිත් වැනි දේද නැතුවා නොවේ. ඉන් එක් සුවිශේෂී දෙයක් පැරනි උඩරට සමාජයේ තිබූ එකගෙයිකෑම නම් විශේෂ සිද්ධියත් සමග බැඳී ඇත. එහිදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු එක් කාන්තාවක් විවාහ කරගැනීම සිදුවේ. එබැවින් සහෝදරයන් දෙදෙනා විටින් විට මාරුවෙන් මාරුවට එකම සහකාරිය සමග ලිංගික ස්බඳතාවය පවත්වයි. එහිදී එක් අයෙකු සහකාරිය සමග සංවාසයේ යෙදෙන බව අනෙක් කෙනාට ඇඟවීම සඳහා අමුඩය කාමරයේ දොරට උඩින් දමා එලියට පෙනෙන්නට සලස්වයි. එය එකළ එම සිරිත පැවති සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු බවද පැහැදිලිය.

  
     මේ දේවල් හැරුණු විට අමුඩය වටා බැඳුනු පිරිමි ලිංගික ක්‍රියාකාරිත්වයට වැදගත් ජීව විද්‍යාත්මක කරුණක්ද වෙයි. අමුඩය යනු පිරිමින්ගේ වෘෂණ පහත් නොවන ලෙස තබාගන්නා ආධාරක යට ඇඳුමකි. එයට යොදාගන්නා රෙදි කැබැල්ල අමුඩ ලේන්සුව ලෙස හඳුන්වයි. අමුඩ ලේන්සුවේ වැදගත් ලක්ෂණය වන්නේ එය සියුම් දැලක් බඳු වූ නූල් ගෙතුම් අතර තරමක් ලොකු හිඩැස් සහිත රෙද්දක් වීම වේ. එය ඇඳගෙන වැඩපල කරනවිට දහඩිය උරාගැනීම හොඳින් සිදුවනවා මෙන්ම පරිසරයේ ස්වභාවික හුලං වැදීමකින් වෘෂණ වලට මනා සිසිලනයක් ලැබෙන්නේ දහඩිය වාශ්ප වීමත් සමගයි. එලෙසම අමුඩය පිටින් දියට බැස්ස කළද වෘෂණ වලට හොඳින් සිසිලනය ලැබෙන්නේ එහි සියුම් දැල් ස්වභාවය නිසාය. ඇත්තෙන්ම වෘෂණ වලට සිසිලනය ලැබීමේ වැදගත්කම කුමක්ද? මිනිසා ක්ෂීරපායී සත්වයෙකි. සාමාන්‍ය වශයෙන් ක්ෂීරපායි සතුන්ගේ ශරීර උෂ්ණත්වය තරමක් ඉහලය එමෙන්ම උෂ්ණත්වය නියත මට්ටමක පවත්වාගැනීමද සිදුවේ. මේ උෂ්ණත්ව මට්ටම පුරුෂ ප්‍රජනක සෛල හෙවත් ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලියට ඒ තරම් සුදුසු නැත. සාමාන්‍යයෙන් ක්ෂීරපායි පිරිමි සතුන්ගේ වෘෂණ ශරීරයෙන් පිටත කෝෂ වල පිහිටන්නේ ඒ නිසයි. වෘෂණ වලට මනා සිසිලනයක් ලැබීම යනු ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවීමට යම් රුකුලක් ලැබීමයි. එකළ සමාජයේ පිරිමින් ධාතු ශක්තිය අතින් ඉහල මට්ටමක වූ බව නොරහසකි. එනම් ඔවුන් ප්‍රජනන ශක්තිය අතින් වර්තමාන මිනිසුන්ට සාපේක්ෂව ඉහල වූ බව පෙනේ. එකල පිරිමින් අතර ලිංගික නිසරුබව සාපේක්ෂව බෙහෙවින් අඩුවන්නට ඇත.
                       

    මෙයට ටික කළකට ඉහතදී පවා අමුඩය ගසාගෙන වැඩකිරීම සමාජයේ ලැජ්ජාවට කරුණක් වී තිබුණේ නැත. එමෙන්ම එවැනි දර්ශනයක් සමාජයට අප්‍රසන්න දෙයක්ද නොවීය. මේ අනුව බලන කළ අමුඩය යනු යම් සුවිශේෂී බවක් සහිත ඇඳුමක් මිස එය උපහාසයට ලක්කළයුතු දෙයක් නොවන බවනම් කිවහැක.

Tuesday, March 18, 2014

ස්ත්‍රී ලිංගිකත්වය පැහැදිලිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට පිරිමින් අපහාස කළයුතුද?


පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධි ඇසුරෙන් ලිංගික කුහකත්වය ගැන උද්වේගකර ලෙස කරුනු ඉදිරිපත් කළෙමි. බොහෝ කරුණු ලිපි වලට එක් කළේ ඇතැම් විට සිතට ආ කේන්තියද යටපත් කරගනිමින්ය. මෙවරත් කතා කිරීමට යන්නේ කිසිවෙක් කිසිවිට කතා කිරීමට ඉදිරිපත් නොවන මෙන්ම එසේ ඉදිරිපත් වුවත් විවුර්තව කරුණු කීමට පැකිලෙන මාතෘකාවක් සම්බන්ධයෙනි.
                    මේ ලෝකයේ ගැහැනු හා පිරිමි ලෙස ලිංග දෙකක් ජීවී සංහතියටම ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඇයි? එයිනුත් ගැහැනු සත්වයෙක් හා පිරිමි සත්වයෙකු ලෙස ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව ලෝකය තුල එකිනෙකාගේ ලිංගිකත්වයට ආවේනික විශේෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ ඇයි? එයින්ද ඉහල බුද්ධියක් හා සංකීර්ණ මනෝභාවයක් ඇති මිනිස් වර්ගයා තුල ගැහැනු පිරිමි ලිංගික අනන්‍යතාවයන් ශාරීරිකව පමණක් නොව මානසිකවද දෙබින්න වී කැපී පෙනෙන්නේ ඇයි? මේ සියල්ල ස්වභාවධර්මයෙන් ඉදිරියට වර්ධනය කරනුලැබූ ප්‍රභල ලක්ෂණ වේ. ලිංගිකත්වය යන්න ප්‍රජනන අවශ්‍යතාවය සඳහාම ස්වභාවධර්මයෙන් ජීවී සංහතියට දායාද වන්නකි. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. ගැහැනු හා පිරිමි වශයෙන් ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව කාණ්ඩ වල ප්‍රජනනයේදී පුරුෂ හා ස්ත්‍රී බීජ සෛල එක්වීමටනම් සතුන් දෙදෙනා ලිංගිකව එක්වියයුතුය. ඒ ලිංගික සංසර්ගය තුලිනි. ඒ ක්‍රියාවලිය ක්‍රමවත්ව ගෙනයෑමට ස්වභාවධර්මයෙන්ම යෙදෙන උපක්‍රමය වන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති කිරීමයි. ඇත්තෙන්ම ගැහැනු හා පිරිමි ජීවීන් තුල සත්ව ලෝකයේ දක්නට ඇති විශේෂිත ලක්ෂණ පිහිටන්නේ මේ ක්‍රියාවලිය ඉලක්ක කරගෙනයි. මිනිස් සංහතිය ගැන කතා කිරීමේදී සංකීර්ණ මනෝභවයන්ද ඇතුලුව ඒ හරහා ගොඩනැගෙන විරුද්ධ ලිංගික ආකර්ෂණය අරුමයක්ද? එය එසේ වන්නේද ගැහැනු හා පිරිමි වශයෙන් ලිංගික සංසර්ගය හරහා දෙපාර්ශවය එක් කිරීමටත් ප්‍රජනන ක්‍රියාවලියටත් අවශ්‍ය යාන්ත්‍රනය ලෙසයි.


                                දැන් එම ආකෘතිය අනුව මිනිස් ප්‍රජාවේ සමාජ සංස්කෘතික ගොඩනැගීම් සලකා බලමු. ඕනෑම ජන සමාජයක් තුල මානව ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ ලෙස දෙභින්න වී ලිංගික විශේෂනයන් අනුව වර්ගීකරනයකට ලක් වීම සිදුවන්නේ ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාගේ ලිංගිකත්වය වෙන් වෙන්ව කේන්ද්‍රීය වන ලෙසයි. ඒ තුල විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික ක්‍රියාවලියත් ප්‍රජනනයත් ගැබ්වී තිබේ. කිසිවෙකුටත් එය එසේ නොවේ යැයි කිව නොහැක. ගැහැනු හෝ පිරිමි කවරෙකු හෝ වේවා විරුද්ධ ලිංගිකයන් හඳුනාගන්නා සුවිශේෂී ස්වභාවයක් ඕනෑම සමාජ පරිසරයක් තුල දක්නට ඇත. ගැහැනු හෝ පිරිමි කවරෙක් වුවත් සිය විරුද්ධ ලිංගිකයා හඳුනාගන්නේ තම ලිංගිකත්වය තුල දක්නට නැති ප්‍රති විරුද්ධ ලිංගිකත්වයට ආවේනික ශාරීරික හා මානසික ස්වභාවයන් ඇසුරෙනි. එහිදී එකිනෙකාට තම විරුද්ධ ලිංගිකත්වය ප්‍රසන්න දෙයක් වන ආකාරයට මිනිස් සමාජ ගොඩනැගීම සැකසී තිබීම සාමන්‍ය දෙයකි. මා කලින් ලිපි වලද පෙන්වාදුන් ලිංගික කුහකත්වය සමාජයක වැරදි වටිනාකමක් ලබාගෙන ඔඩුගියකල මේ කිසිවක් විවුර්ත භාවයකින් යුතුව පිළිගැනීමට මැලිකමක් ඒ සමාජය තුලින්ම ජනනය වේ. පුරුෂ ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ ස්වරූපය වන ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව නිරූපනය කරන කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයන් මුල්කරගෙන ගැරහීමට හා අපහාසයට ලක්වීමද මෙහි එක් ප්‍රතිඵලයකි.
                                කුහකකම් පැත්තක තබා විවුර්ත භාවයකින් යුතුව මේ සමාජ තත්වය දෙස අප බලන්නේනම් එයින් අප කොපමණ මුලාවකට ඇදවැටෙන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය, ඇය තවත් පුරුෂයෙකු නොවේ. කාන්තාවන් ඕනෑම මානව ජන සමූහයක් තුල ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කළයුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගයයි. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඔවුන්ගේ පැවැත්ම ස්ත්‍රීන් හැටියට ගොඩනගා ගැනීමටයි. එහිදී ඔවුන් තම විරුද්ධ ලිංගිකත්වය වන පුරුෂ ලිංගිකත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්කර හඳුනාගතයුතු වනවා මෙන්ම පුරුෂ ලිංගිකත්වයට සමාඅන්තරව ස්ත්‍රී අන්න්‍යතාවයක් ගොඩනගා ගතයුතුවේ. එමෙන්ම පුරුෂයාට ලිංගික වශයෙන් ප්‍රසන්න වීමත් පිරිමින් ලිංගිකව ආකර්ෂණය කර ගැනීමත් කාන්තාවන්ගේ ජීවිතයේ ප්‍රමුඛ අංග වේ. ඔවුන්ටද පිරිමින්ට මෙන්ම ලිංගික ආශ්වාදය හා තෘප්තිය අවශ්‍යය දරුවන් හැදීමේ අවශ්‍යතාවයද කාන්තාවන්ටත් ස්වභාවයෙන් පිහිටයි. පිරිමි සහකරුවකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම ස්වභාවික හැඟීම් දැනීම් අවශ්‍යතා ඇති කාන්තාවන් කාගේත් ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නේ මෙලෙසිනි. මේ කරුනු කාරනා කෙලින් පිළිගන්නවාට වඩා කුහකත්වයේ මානසික ලෙඩින් පෙළෙන්නන් කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගික ස්වභාවයටම ගැරහීම මහා ලොකු හපන්කමක් යැයි සිතති. 
         
                             සම්ප්‍රදායික කුහක සුදනන් සිරිතක් ලෙස කාන්තා ඇඳුම් විලාසිතා වලට බැනවදිමින් මෝඩ තෘප්තියක් ලබන ආකාරය අප දැක ඇත්තෙමු. ඇතමෙකු කොට ගවුම අල්ලාගෙන එයින් කකුල් පෙන්වන කාන්තාවන් සමාජයේදී ඔවුන් අපහාසුතාවයන්ට පත්කරවන බවට අඩපාලි කියන්නේ යටි හිතෙන් ඊට කැමැත්තක්ද දක්වමිනි. කාන්තාවන් හෝ ගැහැනු ළමුන් කොටට ඇඳීම ඔවුන්ට ගැටලුවක් උනත් ඔවුන් එසේ කරන්නේ අහේතුවකට නොවේ. එයට කැමති පිරිමින් කොටසක්ද සමාජයේම ඇත. එයට බැනවදින පිරිසද එයින් තමන්ට ප්‍රසන්න හැඟීමක් ඇතිකරන බව හිත යටින් දනිති. පුරුෂයා ලිංගික වශයෙන් ආකර්ෂනය කරගන්නා පිරිමින්ට ලිංගික වශයෙන් ප්‍රසන්න හැඟීම් දැනීම් ඇතිකරවන දේ කිරීමට කාන්තාවන් ස්වභාවයෙන් කැමැත්තක් දක්වති. එය එසේ නොවන්නේනම් ඔවුන් මිනිස් වර්ගයට අයත් ගැහැනු මිනිස් ජීවීන්ද නොවෙති. තම ලිංගික ස්වභාවයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ඒ සමග එකට ජීවත් වීමට කාන්තාවන්ගෙන් වැඩි පිරිසකට තිබෙන හැකියාව පිරිමින් විසින් අගය කළයුත්තක් විනා ගැරහීමට ලක්කළයුත්තක් නොවේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන කුහක මෝඩයන් ඔවුන්ගේ බොරු ලැජ්ජාව මහා ලොකු වටිනා දෙයක් යැයි සිතීම සියල්ලට වඩා හෙනයකි. ඔවුන් කාන්තාවන්ටද තම ස්ත්‍රී ස්වභාවයන්ට පිටුපාමින් ස්ත්‍රී විශේෂනයන් නැතිකරගෙන මානසිකව පුරුෂභාවය තුලට යෑමට අනුබල දෙන්නේ එසේ කිරීමෙන් කාන්තාවන්ට වීර චරිත වීමට හැකිවන බවක්ද අඟවමිනි.  කුහකත්වයන් වැඩි සමාජ වල මෙවැනි කුහක පිරිමින් ප්‍රභූත්වයක් හා ව්‍යාජ ප්‍රබුද්ධකමක් ඈඳාගැනීම ඉමහත් විනාශකාරී මෙන්ම අවාසනාවන්ත තත්වයකි.  

                               අද බොහෝ දෙනෙක් නූතන සමාජයේ දියුණුව ගැන නොයෙක් දේ හතර වටින් ඇසුනද ලිංගික කුහකත්වයන් නම් අඩුවන බවක් පෙනෙන්නට නැත. බටහිර රටවල ලිංගික නිදහසක් මහා පරිමාණයෙන් ඇතැයි කීවද එයද සත්‍ය නොවේ. ඇත්තේ ලිංගිකත්වයම විකාරයක් වූ සමාජ පසුතලයකි. එහි ලිංගිකත්වය යන්නෙහි සැබෑ යහගුණයන් හඳුනාගැනීමට පුලුවන්කමක් නැත. වර්තමාන සමාජය හැම අතින්ම දියුණු යැයි සිතන මුලාවට නොයා මානව ඉතිහාසයේ කිසියම් අතීත අවධියක කවර ජනසමූහයක් තුල හෝ ලිංගික කුහ්කත්වයන් මත ගොඩනැගෙන දුර්වලකම් දක්නට නැති, එමෙන්ම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය හඳුනාගනිමින් එය මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට උපරිම හැකියාවක් තිබූ අවස්ථාවක් හඳුනා ගතහැකිනම්, ඒ තුලින් හෝ නිවැරදි ආදර්ශයක් වර්තමාන සමාජයට ආදේශ කරගතයුතුය. ස්ත්‍රී ලිංගිකත්වයට ගැරහීමද ඒ තුල නොතිබියයුතු වේ. ලිංගිකත්වය හා ලිංගික ජීවිත වලට පිළිගත ආචාරධර්ම අවශ්‍ය බව අනිවාර්යයෙන් පිළිගතයුතුය. එසේ වුවත් ඒ කිසිවක් ස්වභාවධර්මය ඉක්මවා යන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනි දේද නොවියයුතුයි. දුර්වලතාවයන් තේරුම් ගැනීමටත් ඒවා මගහරවාගැනීමටත් හැකියාව ඇත්නම් ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට ගරහමින් අපහාස කරන පිරිමින් වීරයන්, සුදනන් වන්නේද නැත.