Pages

Wednesday, October 7, 2015

කොටදෙනියාව හා ගුනගරුක මිනිස්සු


දිගු නිහැඬියාවක් බිඳ දමමින් දහසක් වැඩ කටයුතු මධ්‍යයේ ලිපියක් එකතු කිරීමට අදහස් කළෙමි. ඒ කොටදෙනියාවේ සිදු වූ ඛේදජනක සිදුවීම ගැන විවිධ මාධ්‍ය වල පල වූ නානාප්‍රකාර කරුනු දැකීමෙන් පසුවයි. විශේෂයෙන් මේ සිද්ධියට පසු ජනමාධ්‍ය පෙර පරිදිම ඔවුන්ගේ සහජ ගති පෙන්වා තිබේ. ඒ මෙම සිද්ධියේද සියළු දහ ජරා පැති අල්ලා මාකට් කරගන්නට උත්සහ දරමිනි. මාධ්‍ය ඉතා පහත් ලෙස සිද්ධියට සැක පිට පොලිස් අතඩංගුවට පත් පුද්ගලයන්ගේ චරිතය ඝාතනනය කරන ලදි. පොලීසියද මේ සිද්දීයෙන් පසුව කිසි වරදක් නැති අහින්සකයන් සැක පිට අතඩංගුවට ගෙන ඔවුන්ට වරද පැටවීමට ගොස් තිබෙන්නේ පිස්සු බල්ලන් මෙනි. සැක පිට රඳවාගත් පාසල් සිසුවෙකුට හා තවත් පුද්ගලයෙකුට නිරුවත් කර බාල්කයක එල්ල පහරදුන් පුවතක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ පළවී ඇත. මේ දෙදෙනාම පොලීසිය විසින් තමන්ට වරද භාරගන්න යැයි කියමින් බලකර ඇති බව වාර්ථා වේ. මෙය ඉතාම භයානක සමාජ අර්බුධයක නරක පෙර නිමිත්තකි. පොලීසිය අපරාධයක් දුටු තැන ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන්නේ මෙලෙසින්ද යන්න කාගේත් කුතුහලයට හේතු වී ඇත. මේ අතරේ සිද්ධිය ගැන මෙලෝ හසරක් නොදැන දැරියක් දූෂණය කර මරා දමා ඇති පුවත පමණක් අල්ලාගනිමින් වරදකරුට මරණ දඬුවම දෙන්නැයි කියා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් උද්ඝෝෂණ කරන ආකාරයත් පුවත් වලින් දුටිමි.
                            
උද්ඝෝෂණ පැවැත්වූවන් මත්ද්‍රව්‍ය ජාවාරම හෝ සැලසුම් සහගත වෙනත් මනුෂ්‍ය ඝාතන පැත්තක තිබියදී ස්ත්‍රී දුෂණ  ළමා අපචාර වලට පමණක් මරණ දඬුවම ඉල්ලා උද්ඝෝෂණ කිරීමද අපූර්වත්වයකි. මේ සිද්ධියම සැලකිල්ලට ගත්තත් පොලිස් නරුමයන් උමතුවෙන් ක්‍රියා කර ඇති ආකාරය දෙස බැලීමේදී මොකෙක් එල්ලුම් ගස් යයිද කියා අපට අනුමාන කරන්නට බැරි වෙයි. අවසනදී වරද කළා යැයි කතන්දරයක් කියා පාපෝච්චාරනය කළා කියන කොණ්ඩයාටත් පොලීසිය එලෙස කිරීමට බල කර බාල්කයක එල්ලා පහර දුන්නාද කියා දන්නේ දෙවියන් පමණකි. කොටදෙනියාව දැරිය අතුරුදහන් වී දින දෙකකට පමණ පසු ඇය අතවරයට ලක්ව මිය ගොස් ඇති කාලකන්නි ප්‍රවුර්තිය ඇසීමට සියළුම රට වැසියන් අවාසනාවන්ත විය. ඒ අවාසනාව ඇයගේ පවුල පසුපසත් ආවේ ඇයගේම පියා ගැනත් පොලීසිය සැක කිරීමෙන් පසුවයි. පොලීසිය පවසා තිබුණේ සේයා සෙවීමට යෙදවූ පොලිස් සුනඛයන් වැඩි දුර නොගොස නිවස දෙසට ආ බවක් හා සේයාගේ පියා මීට මලින් ළමා අපචාරයකට චෝදනා ලබා ඇති බවකි. සියල්ලට වඩා කුනු මස් කට්ටකට පොර කන බලු රෑනක් මෙන් මේ පුවත මාධ්‍ය වල පල කරන්නට මාධ්‍ය මාෆියාව කටයුතු කර තිබුණි. සිද්ධියට සැක පිට අතඩංගුවට ගෙන තිබූ පාසල් සිසුවාගේත් අනෙක් පුද්ගලයාගේත් චරිත අමු අමුවේ ඝාතනය කරමින් ඔවුන් නොමරා මැරුවේ මාධ්‍ය මාෆියාවයි. කොහොමෙන් හරි දැන් සේයා කෙලෙසා මරා දැමූ කාලකන්ණියා කළ අපරාධයටත් වඩා අපරාද ගනණක් පොලීසිය හා මාධ්‍ය මාෆියාව විසින් කර තිබේ.
                             

ලිංගික කරුනු සම්බන්ධ සමාජ සම්මතයන් පිළිගැනීම් හා ඒවායේ පසුබිම ගැන මතක් කර දෙමින් ලිපියේ ඉදිරි කරුනු විස්තර කිරීම යහපත් යැයි මට සිතේ. ලිංගික හැසිරීම් ගැන ලිංගික සදාචාරාත්මක සම්මුතීන් ගොඩනැගීමට පෙර ඉතිහාසයේ මානව වර්ගයා සිය අභිමතය පරිදි රිසි සේ ජන සමූහය තුල තමන් කැමති විරුද්ධ ලිංගික සහකරුවන් සහකාරියන් සමග එක් වෙමින් ප්‍රජනන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට ඇත. එහිදී වැඩිහිටියන් සියල්ලෝම ප්‍රජාවේ දරු දැරියන්ට මවු පියන් වන්නට ඇත. ලිංගික හැසිරීම් වලට වයස් සීමා නොතිබෙන්නට ඇත. එමෙන්ම ලිංගික කටයුත්තකට ඉඩකඩ විවර වීම කිසිවෙකුත් තමන්ට කරන හින්සනයක් හැටියට නොසලකන්නට ඇත්තේ එහි ආශ්වාදය විඳීමේ හා සොබාදහමේ ගුණාංග සමග එකට මුහු වීමේ අවශ්‍යතාවය ඊට වඩා වැදගත් වූ නිසාද විය හැකිය. හරි දැන් ඒ කතා පසෙක තබා ලිංගික සදාචාරය හ ඊට අදාල සම්මුතීන් වල අවශ්‍යතාවය පැන නගින ආකාරය ගැන කතා කරමු. ලිංගික සදාචාරාත්මක සම්මුති වලට මුල් අඩිතාලම පවුල් සංස්ථාව හරහා වැටෙන්නට ඇති බව විශ්වාස කළ හැක. පවුල් ජීවිත වල ආරම්භය දැනට තිබෙන ඉතිහාස කරුනු අනුව හා පිළිගන්නා ආකාරයට හෝමෝ ඉරෙක්ටස් මානවයා ජීවත් වූ කාලය තෙක් අතීතයට දිව යයි. ඇතැම් විට ලොව විවිධ කලාප වල ජීවත් වූ මානව ප්‍රජාවන් අතර පවුල් ස්ංස්ථාවේ ස්ථාපිත වීම මීට වඩා කල් ගත වී සිදු වන්නට ඇත.
                                  
පවුල යන සංකල්පයත් සමග ඒ වටා එක් වන්නා වූ තවත් ලිංගිකත්වයට සම්බන්ධ ආචාරධර්මයන් සම්මතයන් ලෙස වර්ධනය වී ඇත. මේ තුල ලිංගික ආත්මාර්ථකාමී බව ඉදිරියට පැමිණ නැතැයි කීමටද නොහැක. විශේෂයෙන් කන්‍යාභාවය පිළිබඳ ලොව විවිධ සංස්කෘතීන් හි ඇති විශ්වාසයන් හා ඒ මත ගොඩනැගී ඇති චාරිත්‍ර ලිංගික අතවර පිළිබඳ අර්ථකථන මෙන්ම නීති රීති සැලකීමේදී ඒ බව පෙනී යයි. ලිංගික කුහකත්වයද මේ තුල නැතුවා නොවේ. කෙනෙක් තමාගේ සිත්ගත් විරුද්ධ ලිංගිකයෙකු තමන් වෙත ආකර්ශනය කර ගැනීමටත් වෙනත් කෙනෙකු වෙත නොයෑමටත් යොදන උපක්‍රම මානව ප්‍රජාව තුල විවිධාකාරයෙන් දක්නට තිබේ. විශේෂයෙන් පිරිමි පාර්ශවයේ ක්‍රියාකාරකම් වඩා ඉස්මතු වී පෙනේ. තම ලිංගික ආශාවන් ඉටු කරගැනීමට තමන් තෝරාගන්නා සහකාරිය වෙනත් පිරිමියෙකුගේ ඇසුරට වැටීම වැලැක්වීමේ අවශ්‍යතාවයට  හා එසේ පෙර ලිංගික ඇසුරක් නොපැවැත්වූ තැනැත්තියක් සහකාරිය කරගැනීමේ කැමැත්තට අනුව ස්ත්‍රී පාර්ශවය තුල ලිංගික අතවර භීතිය බොහෝ සමාජ වල ගොඩනැගී ඇත. පවුල තුල මවුපිය දූ දරු සබඳතා වර්ධනය වීමත් සමග පරිනාමිකව ඉදිරියට යෑමේදී වැඩිහිටියන් ලිංගිකව පරිනත නොවූ කුඩා දරු දැරියන් සමග ලිංගික සබඳතා පැවැත්වීම ක්‍රමයෙන් ඈත් වී අසම්මතයක් බවට පත්ව තිබේ. එහි වරදක්ද කීමට නොහැකිය. කෙසේ වෙතත් අප මතක තබා ගත යුත්තේ එය ලිංගික සදාචාරාත්මක සම්මුතියක් මිස ස්වභාවයම නොවන බවයි. මේ ටික කියා සිටියේ ලිංගිකත්වය මත පදනම් වන සමාජ සම්මතයන් සදාචාරාත්මක රාමු නීති රීති සියල්ල අංග සම්පූර්ණ හෝ හැම විට සාධාරණ නොවන බව පෙන්වීමටය. වෙනත් ආකාරයකට කීවොත් මේ සීමා මායිම් සම්මුති වල දුර්වල පැත්තක් තිබේ.

                           
ස්ත්‍රී ලිංගික ස්වභාවයන් ගැන සමාජයේ පිළිගැනීම් හා ඒ දෙස සමාජය බලන ආකාරය ගැනද කරුනු ටිකක් කීම වැදගත් යැයි සිතමි. බොහෝ විට විවිධ සංස්කෘතික හර පද්ධතීන් සැලකීමේදී පිරිමින්ගේ ලිංගික පෙරැත්ත හා ලිංගික ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා එහි ක්‍රියාකාරකම් ඒ තරම් පිළිගැනීමට ලක් නොවේ. ස්ත්‍රියට ලිංගික ආශාව කියා දෙයක් තිබෙන බව පිළිගැනීමටද සමහර සංස්කෘතීන් තුල තිබෙන්නේ ඉතා මැලි කමකි. මේ ගැන සමාජවිද්‍යාත්මක විශ්ලේශනයක් අවශ්‍ය වුවත් ලිපිය තුලින් සියල්ල සාකච්චා කරන්න මා බලාපොරොත්තු වන්නේ නැත. තමන්ට විවාහ වීමටත් පෙර ස්ත්‍රීන් සමග ලිංගික ඇසුර අවශ්‍ය බවට හා විවාහක වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීමට  නිදහස තිබිය යුතු බවට විශ්වාස කරන බොහෝ පුරුෂයන් ඒහා සම අවස්ථාවක් ස්ත්‍රියට තිබිය යුතු යැයි කිසිවිට පිළි නොගනිති. කාන්තාවන්ට පුරුෂයන් නියැලෙන සියළු වුර්තීන් හා සියළු පුරුෂයන්ට ආවේනික කාර්යභාරයන් වලට ඇතුල් වීමට සම වස්ථාව තිබිය යුතු යැයි කියන මහා දර්ශනවාදී පුරුෂෝත්තමයන්ද මේ අතර සිටිති. එය පුදුමයට කාරනයක්ද නොවේ. අපට මගහැර යා නොහැකි තවත් දෙයක්ද මතක් කරන්නට මා කැමතිය. ඒ කාන්තාවන් ගැන බොහෝ දයානුකම්පා සහිත ගුනගරුක පිරිමින් බොහොමයක් බාල වයස්කාරියක් හෝ තරමක් වැඩිමහල් තැනැත්තියක් සිය කැමැත්තෙන් පිරිමියෙක් සමග ලිංගිකව හැසිරී කන්‍යාභාවය නැති කරගත් සිද්ධියක් දෙස බලන්නේ කෙසේද. මේ ගුණගරුක මිනිසුන් එතැනදී ස්ත්‍රී ස්වභාවය සලකා ඊට සමාව දීමටනම් කීයටවත් සූදානම් නැත. අනෙක් අතට පිරිමියෙකු අතින් ලිංගික අතවරයකට ලක් වී කන්‍යාභාවය අහිමි වූ තැනැත්තියන් දෙස සමාජය බලන්නේ කොහොමද? එහිදී එය ස්ත්‍රී පාර්ශවයේ වරදින් නොවුනත් කන්‍යාභාවය කියන සාධකයේදී ඊට සමාව දීමට සමාජයේ බොහෝ ගුණගරුක මිනිසුන් සූදානම් නැත. එනිසා ලිංගික අතවරකරුවන්ට මරණ දඬුවම පනවන්න යැයි කෙරෙන බලපෑම් ගැන මේ කාරනා වලටද සාපේක්ෂව කතා කළයුතුය. 

                                        
දැන් මම කතා කරන්නට යන්නේ තවත් මෙවැනිම කවුරුත් කතා නොකරන දෙයක් ගැනය. සේයා දියණියට වූ අපරාධය හමුවේ මහත් ආවේගයෙන් හැසිරුණු අයත් ඇතුළුව මෙරට සත් ගුණවත් මවුපියන් සේයාගේ වයසේම නොවුනත් වයස 13-14 පමණ වන දැරියක් පිරිමි ළමයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගතහොත් ඇයට මොන විදිහක දඬුවමක් දේවිදැයි හිතාගන්නට අපහසුය. ඇතැම් විට එය කොටදෙනියාවේ දැරියට සිද්ද වූ දෙයින් වැඩි වෙනසක් නොවන්නටද පුළුවන. ඒ අපේ රටේ ගුනගරුක මිනිසුන් ස්ත්‍රී ලිංගික ස්වභාවය හමුවේ දක්වන හැසිරීම් රටාවයි. මීට ටික කාලයකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවියක් ෆේස්බුක් එකේ පිරිමි ළමයෙක් සමග ගත් ඡායා රූපයක් ඇතුලත් කර තිබීම නිසා කළබලයට පත් වූ එම විදුහලේ විදුහල්පතිවරයා සිසුවියට ඉතා පහත් ලෙස පරිභව කරමින් ඇයව දැඩි මානසික පීඩාවකට පත්කරමින් දඬුවමට ලක්කර තිබුණි. එහි ප්‍රතිඵලය ලෙස ඇය සාරි පොටකින් එල්ලී සියදිවි හානි කරගෙනද තිබුණි. එහෙත් එම අවස්ථාවේ දැරියගේ මරණයට වගකිවයුතු වූ විදුහල්පතිවරයා එල්ලන්නට කවුරුත් කතා කළේ නැත. අදටත් මේ විදුහල්පතිවරයා යහතින් වැජඹේ. කුඩා කළ දරුවන්ට ඇති ආදරය ඔවුන් ලිංගිකව පරිනත වයසට පැමිණ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශණය වන විට හා විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමට උනන්දුව ඔවුන් කෙරෙන් පෙන්නුම් කරන විට එක් වර වෙනස් විය නොහැක. 

              
කොටදෙනියාවේ කතාව ගැන විවිධ පැති වලට කරුනු කීමේදී ලිංගික හැසිරීම් වල විකුර්තිතා හා ඒ මත සිදුවන ළමා අපචාරත් එවැනි සිද්ධි යම් විදිහකින් මිනී මැරුම් දක්වා දුරදිග ගියොත් කොටදෙනියාව සිද්ධියේදී කුලප්පු වූ ගුණගරුක මිනිසුන් ඇතුළු සමාජය කෙසේ ප්‍රතිචාර දක්වයිද කියන කාරනාවත් මතු කළ යුතුම දෙයක් වේ. මා මෙයින් අදහස් කළේ සමලිංගික පිරිමි හෝ කාන්තා අපචාරකරුවන් කර තිබෙන හා කිරීමට ඉඩ ඇති දේ ගැනය. මීට කාලයකට ඉහතදී පුල්මුඩේ ප්‍රදෙශයෙන් පිරිමියෙකු ලෙස පිරිමි වෙස් ගෙන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමලිංගික ළමා අපචාර කටයුත්තක යොදාගත් තැනැත්තියක් ගැන ප්‍රවුර්තියක් වාර්තා විය. එහිදී මේ විකුර්ති මනෝභාවයකින් පෙළුණු ළමා අපචාරකාරිය තමන් විසින් ලිංගිකව අපයෝජනය කළ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා තමන් වෙත ලබාගැනීම සඳහා ඒ දැරියන් දෙදෙනාගේ මවුපියන් අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. ඒ සාපරාධී ක්‍රියාවේදීනම් එය කළ ගැහැනිය එල්ලන්න යැයි කියා කිසිවෙක් උද්ඝෝෂණය කළේ නැත. අප නිකමට හිතුවොත් කොටදෙනියාවේ සිද්ධිය එසේ නොවී සමලිංගික පිරිමියෙකු විසින් බාලවයස්කාර පිරිමි දරුවෙකු ලිංගිකව අපහරනය කරමින් මරා දැමීමේ සිද්ධියක් උනානම් කිසිවෙකුටත් එල්ලුම් ගස මතක් වෙයිද? මතක් උනත් මේ තරම් ලොකු විරෝදයක් නොව ඇල්මැරුනු විරෝධයක් එල්ල වී සිද්ධියද ඉක්මනින්ම යට යෑම හා සමාජයට අමතක වීම සිදු වීමටනම් වැඩි ඉඩක් ඇත. පුල්මුඩේ සිද්ධිය ගැන සිදු වූ පරීක්ෂණ හෝ සැකකරුවන්ට බාල්ක වල එල්ලා පහරදීම් ගැන ආරංචි නැත. ඒ සිද්ධියද ඉතා ඉක්මනින් සියල්ලන්ට අමතක උනා පමණක් නොව මාධ්‍ය වලින්ද කතා කිරීම නවතා දැමිනි. 

                                  
ලිංගික අතවර සිදුවීම් වලදී අතවර කාරයා තමන් අතවරයට ලක් කරන තැනැත්තිය මරා දැමීමේ ප්‍රවණතාවය පසුපස එක් අතකින් තිබෙන්නේද සමාජය තුල ලිංගිකත්වය සම්බන්ධ ආකල්ප වල හා කුහකත්වයේ බොරු සාරධර්ම වල ඇති දරදඬු බවයි. ඊටම හරියන කුහක නීති වල දරදඬු බව ද තවත් පැත්තකින් තිබේ. කොටදෙනියාවේ සිද්ධිය ගත්තත් එහි වැරදි දෙකක් අඩංගුය එකක් දැරියට ලිංගික අතවර කිරීමයි අනෙක දැරිය මරා දැමීමයි. මේ දෙකෙන්ද වඩා බරපතල කාරනය දැරිය මරාදැමීමයි. එය සාපරාධී මනුෂ්‍ය ඝාතනයකි. නමුත් මෙහිදී එල්ලුම් ගස නැවතත් ගෙනැත් එල්ලිල්ල පටන් ගන්නට බලපෑම් කරන  උදවිය වඩා ඉස්මතු කළේ සාපරාධී මනුෂ්‍ය ඝාතනය යන කාරනයට වඩා ලිංගික අතවරය කියන එකයි. ඔවුන්  එල්ලා මරන්නට යෝජනා කළේද සාපරාධී මනුෂ්‍ය ඝාතකයන්ට වඩා ලිංගික අතවර කරුවාය. එයින්ද පෙන්නුම් කළේ එක්තරා කුහකත්වයකි. ලිංගික අතවර පිළිබඳ සමාජයේ අර්ථකථන හා විශේෂයෙන් ස්ත්‍රී ලිංගිකත්වයත් කන්‍යාභාවයත් සම්බන්ධ ආකල්ප ගැන මීට වඩා බුද්ධිමත්ව තරමක් දුර විශ්ලේෂනයක් කරන්නේනම් එය කාම අපරාධ වැලැක්වීම තරමටම වැදගත් වනු ඇත. කොටදෙනියාවේ ඛේදවාචකයේදී පාසල් සිසුවෙකුගේ ලැප්ටොප් යන්ත්‍රයේ තිබූ අසභ්‍ය දේවල් මත ඔහු සැකකාරයෙකු කළා වැනි මොන්ගල් අපරාධ පරීක්ෂණ වලට වඩා ස්වභාවික මිනිස් ගුණාංගත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගත් යන කාරනා හා මානව සමාජයේ සදාචාරයන් අතර මනා සමබරතාවයකුත් අන්‍යෝන්‍ය අවබෝධයකුත් ඇති කිරීම වර්තමානයේ ඉතා වැදගත් වේ. අතවර අර්ථකථනයන් තුල දැඩිව එල්ලී සිටිමින් මේ ගුණාංගද වනසා ගැනීම අමනෝඥ්ඥ ක්‍රියාවකි.

                                 
ස්ත්‍රී දූෂණයට මැදපෙරදිග මිත්‍යාවන් අනුව යමින් මරණ දඬුවම දෙන්නට ගියොත් අනියම් ආකාරයකට කන්‍යාභාවය මත කාන්තාවන් පීඩාවට පත්වීමට යම් ඉඩකඩක්ද ඇති වේ. කන්‍යාභාවයට හානි වීම මත එවැනි අය සමාජයේ පිළිකුලට හා දෝෂදර්ශනයට ලක්වීමද ඒ අනුව සාධාරණීකරනය වන්නට ඉඩ ඇත. ලිංගික අතවර සඳහා පුද්ගලයන් පෙළඹෙන කාරනා සමාජයෙන් ඉවත් කිරීමට පොදුවේ සියළු දෙනා උනන්දු වන්නේනම් ඒ සඳහා අවශ්‍ය හැදියාව තම තමන් තුලම ඇති කරගැනීම අපහසු නොවේ. අතවර කරුවන් බිහිවන තැනට සමාජයේ මානව හැදියාවන් නැති වනතෙක් සියල්ල නොදැක්කා සේ හිඳිමින් ලිංගික අතවරය සමාජයට වද දෙන තැනදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලටත් පුරුෂ ලිංගයටත් බැන වැදීමෙන්ද පලක් නැත. එය හරියට රිය අනතුරක් වූ විට හේතුව ලෙස වාහනයට යතුර දමා කරකවද්දී පන ගැන්වුනා, ගියර් දැම්මා, ඉස්සරහට ගියා හැප්පුනා වාහනේ ඇන්ජිම තමයි සේරටම මුල කියන්නා වැනි තකතීරුකමකි. නමුත් ඒ තකතීරු ක්‍රමයට හිතන පිරිසක්ද සිටිති. ඔවුන් සිතන්නේ බාල වයස්කාරියකගේ නිරුවත ඉදිරියේ ශිෂ්ණය ප්‍රානවත් වන සියල්ලෝම අතවර කරුවන් වන බවයි. කොටදෙනියාවේ උන සිද්ධිය වැනි සිදුවීම් වලදී මෙවැනි ගුණගරුකකමක් මවාගන්නා එහෙත් සැබෑවට අමනයන් වන පිරිසක්ද කුලප්පු වෙති. අප ඔවුන් ගනනකට නොගත යුතුය. අප අපේ දරුවන් ආදරයෙන් හදා වඩා ගන්නට දක්වන උනන්දුවම ඔවුන් ලිංගිකව පරිනත වී සුදුසු වයසකට පැමිණි විට සුදුසු විරුද්ධ ලිංගික සහකරුවන් සහකාරියන් සොයාදී විවාහ දිවියට ඇතුල් කර ආදර්ශමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට උනන්දු කරවීම කෙරෙහිද දැක්විය යුතුය. ලිංගික අතවර කරුවන්ගෙන් ගැහැනු ළමුන් කුඩා කළ රැකබලාගැනීම වඩා අර්ථවත් වන්නටද මෙය ඉවහල් වේ. ගැහැනු දරුවන්ට හෝ කාන්තාවන්ට ලිංගික අතවරයක් වන තැනදී දරුවන් ලෝකයට ජාතක වන විදිහත් අමතක කරමින් පවුල් වලත් වටපිටාවේ මෙන්ම අහල ගම් හතක සිටින පිරිමින් සේරම සැක කරමින් ඉවක් බවක් නැතිව කවරෙකු හෝ එල්ලා මරන තෙක් පිස්සුවෙන් ක්‍රියා කිරීමට වඩා ලිංගිකත්වයේ මෙන්ම හැම කෙනාම තම විරුද්ධ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරන සමාජ තත්වයක් හැදිය යුතුය. එවැනි පසුබිමක බොරු සදාචාරයන් නොව සැබෑ සදාචාරයන් සවිබල  ගන්වා කොටදෙනියාවේ අවාසනාවන්ත සිද්ධිය වැනි සිදුවීම් නතර කිරීමට අප  සියල්ලන් අධිෂ්ඨාන කර ගනිමු. 

17 comments:

  1. නිවැරදි කරුවන් ලබා බලහත්කාරයෙන් පාපොච්චාරනය කරවන පොලිසියක් ඇති රටක මරණ දඩුවම ක්‍රිියාත්මක වුණොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. පොලීසියේ දෙන පාපෝච්චාරණ උසාවියේ ඇඩ්මිසිබල් නැත. තවද උසාවියේම වරද පිලිගත්තත් මිනීමැරුම් නඩුවල රජයේ සාක්ෂි මෙහෙයවිය යුතුය මන්ද එය මිනීමැරුමක් නොවන සාවද්ය මනුෂ්‍ය ඝාතනයක් (එයට මරණ දඬුවම නැත ) විය හැකි බැවිනි

      (සැයු. මෙය මරණ දඬුවම ප්‍රොමෝට්කිරීමට ලියූවක් නොව ඔය කියන තරම් ලේසියෙන් මරණ දඬුවම දෙන්නේ නැති බවත් දුන්නත් එය ක්‍රියාත්මක ක්‍රීමට පෙර තව ඒ ගැන පටිපාටියකුත් ඇති බව මතක් කිරීමට ලියූවකි )

      මරණ දඬුවම දෙන්නට කියන්නන් හා එපා කියන්නන් දෙගොල්ලොම හැඟීම් මත කතාකරන බව මට නම් සිතේ

      Delete
    2. මෙතන අපට පේන්න තියෙන ලොකුම දේ තමයි මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම ලොකු වාසනාවක් කියන එක. පිස්සු පොලිස් බල්ලන්ට මොකෙක් හරි අල්ලගෙන සැකයි කියල ඌට වද දීල වරද බලෙන් පටවන එක පුරුද්දක් වෙලා. මෙච්චර කාලෙකට රටේ උන අනෙක් අපරාධ වල පරික්ෂණ කෙරුනෙත් මෙහෙමද කියල මුළු රටම එක හඬින් ඇසිය යුතුයි

      Delete
    3. හිතාගන්නවත් බෑ නලීන් මොනවගේ කාලකන්ණි තත්වයක් ඇති වෙයිද කියලා.

      Delete
    4. අති භයානක තත්වයක්.

      Delete
  2. ..//මේ දෙදෙනාම පොලීසිය විසින් තමන්ට වරද භාරගන්න යැයි කියමින් බලකර ඇති බව වාර්ථා වේ.//..

    මෙන්න මේක නිසාමයි පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැත්තේ.අපරාධකරුවා සොයා ගැනීම වෙනුවට කවුරු හරි පුද්ගලයෙක් අල්ලගෙන අපි ඇල්ලුවේ අපරාධකාරයාමයි කියලා ඔප්පුකරවන්න පොලිසිය නොකරන වැඩක් නෑ.ඉතින් කොහොමද අපරාධ අඩුවීමක් වෙන්නේ වැඩි වෙනවා මිසක්

    ReplyDelete
    Replies
    1. පොලිස් ක්‍රියා පටිපාටිය තවත් බරපතල අපරාධකාරී එකක්

      Delete
  3. කාලෙකට පස්සේ ඔයා වටිනා ලිපිය දැම්මා ..... මිතුරිය ..... ඔයා මේකන් අපට අමතක වෙලා ගිය පැරණි සිද්දීත් මතක් කළා .... මේවත් අපචාර වලට සම්බන්ධයි බලන් ගියාම .

    ReplyDelete
    Replies
    1. අපචාර සිද්ධි ජනමාධ්‍ය වලට මසුරන් වටින ජරා තත්වයකුත් උදා වෙලා

      Delete
  4. ඩී එන් ඒ තාක්ෂනය නොමැති යුගයේදී මොනතරම් පිරිසක් එල්ලුම්ගස් ගියාද කියන බියජනක සිතිවිල්ල මගෙ සිතේ හොල්මන් කරනවා. සමහරු එල්ලද්දි තමන් නිර්දෝෂියි කියගෙනලු එල්ලුම්ගහට නැග්ග කියන්නෙ. මේ ඇත්තටම අහිංසකයො වෙන්න ඇති.
    ඩී එන් ඒ සොයාගත් වොට්සන් සහ ක්‍රික් තරම් ශ්‍රේෂ්ටයන් තවත් නැති තරම්.

    එල්ලුම් ගහට ගිය සමහරුන්ට නම් සාධාරන අන්ඩු විභාගයක් ලැබිලත් නෑ. ඒ සියළුදෙනා තමන්ගෙ පෙර කර්මයක් පලිසන් දුන්න කියා සිතා එල්ලුම් ගහට නගින්න ඇති.

    සිරිම ගොපල්ල ලවා එක අවුරුද්දක 24 ක් තරම් විශාල ප්‍රමානයක් 1974 වසරෙදි එල්ලා මැරුවා . ගොපල්ල උඩ පැන පැන මරන දඩුවමට අත්සන් කරල තියනව. මාර ගොපල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. DNA තාක්ෂණය නොතිබෙන්න මේ කොටදෙනියාව සාපරාධී ක්‍රියාවට අනිවාර්යෙන් අහුවෙන්නේ කිසි වරදක් නැති කෙනෙක්. එල්ලුම් ගහ ක්‍රියාත්මක උනානම් මේ වෙනකොටත් වරදක් නැති අහිංසකයෙකුට පොලීසියෙන් ගහල වරද බලෙන් පටවලා මිනිහ එල්ලුම් ගස් ගිහින් මැරිලත් ඉවරයි. ඊටත් වඩා අප්පිරියම දහ ජරාම දේ තමයි කාලකන්නි මාධ්‍ය ආයතන සේරම මේක රස කරකර කියල මහ ජනයා ඉස්සරහ වීරයො වගේ හැසිරෙමින් අර ගහට ගිය නිර්දෝශී අහිංසක මනුස්සයගෙ ඊලඟ ආත්මෙත් විනාස කරන එක.

      Delete
    2. ඔය ප්‍රශ්නෙම මටත් මතක් කරන්න වෙනවා. ඇත්තටම මට විතරක් නෙවෙයි අපි කාටත් දැන් මේ සිද්ධියේදි එල්ලුම් ගහ ක්‍රියාත්මක උනොත් වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු නෑ. රටේ වෙච්ච අනෙක් අපරාධ වලදිත් ඊට දඬුවම් ලැබුවේ ඇත්ත වරදකරුවන්ද කියන එක දැන්නම් සැකයි.

      Delete
    3. මෙතන DNA පරික්ෂාවක් නොකළනම් මොන විනාසයක් වෙයිද කියන්න කවුද දන්නේ. පොලිස් ත්‍රස්තවාදින්ගෙන් බේරෙන්න වෙනම නීති ඕන වෙයි.

      Delete
  5. කාලෙකට පස්සේ හොඳ ලිපියක් ලියල තියෙනව වර්තමාන සමාජ තත්වය එහෙම පිටින්ම කැඩපතකින් බැලුව වගේ කාගේ කාගේත් හැටි පෙන්වන. මමත් මේ කරුණු එක්ක එකඟ වෙන ගමන්ම එල්ලුම්ගහෙන් ප්‍රශ්න නොවිසඳෙන බව පෙන්වා දීම ගැනත් ඔබට ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
  6. මේ හෙන ගහන අපරාධයේ නඩුව අස්සේ තවත් අවනඩු ගොඩක් තියෙනවා. අපේ රටේ පොලීසි වල තරම තමයි පේන්නේ. මේක තවත් ඉතා අවාසනාවන්ත තත්වයක්.

    ReplyDelete
    Replies
    1. පොලීසිය තවත් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරනවා. මගේ බ්ලොග් එක බලල යන්න ආවට ස්තුතියි.

      Delete