Pages

Tuesday, July 8, 2014

මාතෘත්වය වන්දනා කිරීම හා ස්ත්‍රීත්වයට නිග්‍රහ කිරීම.

 

ප්‍රජනනය යනු මුලු මහත් ජෛව ලෝකයේම අඛණ්ඩතාවය ඉදිරියට ගෙනයෑම සඳහා ස්වභාවධර්මයෙන් සියළු ජීවීන් වෙත දායාද වී ඇති ක්‍රමවේදයයි. සත්ව ලෝකයේ අනෙකුත් සත්වයන්ගේ ප්‍රජනනය හා සසඳන විට මිනිසාගේ ප්‍රජනනය සුවිශේෂී වන්නේ මිනිසුන් ප්‍රජාවක් හැටියට සිය පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා විශේෂිත වූ ලෙස සමාජ පරිසරයක් නිර්මාණය කරන නිසයි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය පවුල ආශ්‍රිතව සිදුවේ. එහෙදී පවුලක ඉපදෙන දරුවෙකු සිය මව හා පියා හඳුනාගනියි. දරුවෙකුට මව හා පියා වැදගත් වෙන්නේ තමන් ලොවට ජනිත කරවූ ජනකයන් හැටියටය. මෙලොව උපදින සියළු දෙනාට සිය මවුපියන් වෙනත් සියල්ලන්ට වඩා වටිනා කියන පුද්ගලයන් වන්නේ ඔවුන් තම තමන්ට උපත දී ඇති නිසා පමණක් නොව පැවැත්මද සදා දෙන නිසයි. ඕනෑම මානව සමාජයක පවුල් බැඳීම් හා මවුපිය දූදරු සබඳතා වලට අති විශේෂ තැනක් හිමි වේ. බෞද්ධ සමාජයේනම් මවුපියන් වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සන් වෙති. මෙම ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් මාතෘත්වය හා සම්බන්ධ සමාජීය සංසිද්ධි කිහිපයක් ගැනයි. පීතෘත්වය හා ජනසමාජය ගැන වෙනමම ලිපියක් බ්ලොග් පිටුවට ඇතුල් කිරීමට මම බලා පොරොත්තු වෙමි.
                               මාතෘත්වය සැලකිල්ලට ගත්කළ මවක හා දරුවෙකු අතර ඇති බැඳීම් ගැන කතා කිරීමට කොතෙකුත් දේ තිබේ. මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම බැඳීම හා සම්බන්ධ දෑ එකින් එක විස්තර කිරීම නොව පොදුවේ මාතෘත්වය වටා බැඳුනු සමාජ පිළිගැනීම් හා මාතෘත්වයත් ස්ත්‍රීත්වයත් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක කාරනා සංසන්දනාත්මකව සාකච්ඡා කිරීමයි.  ලිංගික ප්‍රජනන රටාව අනුව ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක්වී කළල පිලිසිඳගැනීමේ සිට දරුවා බිහිවනතෙක් ගර්භය දරාගෙන සිටින්නේත් වර්ධනය කරන්නේත් මවයි. දරුවා බිහිවූ පසුද මුලවධියේ එම දරුවා පෝෂණය වන්නේ මවු කිරි වලිනි. එබැවින් දරුවෙකු හා මවක අතර තිබෙන බැඳීම අති විශේෂ එකකි. ඒ ගැන වැඩි පුර විස්තර අවශ්‍ය නොවන්නේ මනුස්සයන් වන අප කාටත් එය පැහැදිලිව දැනෙන දෙයක් වන නිසාය. මතෘත්වය කෙරෙහි තිබෙන සමාජ ගෞරවය පදනම් වන්නේද ඒ ඔස්සේමය. එහි ප්‍රමාණය වපසරිය ගැන විස්තර කිරීමද අවශ්‍ය නොවේ. ඒ එයද කාට කාටත් තේරෙන දෙයක් වන හෙයින්. මවු සෙනෙහස ගැන ඇගයීමක් ගෞරවයක් නැති කිසිම මනුස්ස සමාජයක් ලොව කොහේවත් නැත.
                            

  මා ඉහතින් පෙන්වා දුන්නේ මාතෘත්වය යන්නේ සමාජීය ආකෘතිය හා එහි පිට නිරූපනය කොයි ආකාරයක් ගන්නේද යන්නයි. සැබවින්ම මාතෘත්වය යන්නෙහි ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පසුබිමත් ප්‍රජනනය හා බැඳුනු ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර් ක්‍රියාවලියත් බෙහෙවින් සංකීර්ණය. ඒ ගැන කතා නොකර මාතෘත්වයක් ගැන කතා කිරීම සාර්ථක නැත. කාන්තාවක් මවක් වීමට පෙර ඇය ස්ත්‍රී ලිංගිකත්වය අනුව ශාරීරිකවත් මනෝවිද්‍යාත්මකවත් මානව සමාජය තුල යම් අනුවර්තනයක් දැරියයුතුය. දරුවන් හැදීමේ අවශ්‍යතාවය නිසියාකාරව පිහිටන්නේ එවිටයි. ඒ අවශ්‍යතාවය ඇතුළු ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක ස්වරූපය කාන්තාවන්ට පිහිටන්නේ වැඩි වශයෙන්ම මවු පාර්ශවයේ උරුමයක් ලෙසය. ඕනෑම සමාජ පරිසරයකදී ගැහැනු ළමුන් මවුවරුන්ට අනුව ඒ ආකාරයෙන් හැඩගසාගැනීමේ සැබෑ පදනමද එයයි. එය ඒ ආකාරයෙන් සිදුවන්නේ කුඩාකළ සිට පුරුෂ ලිංගිකත්වය තමන්ට ස්වභාවිකව දායාද වී ඇති ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගැනීමේ මනා සංවේදනයක් මනෝවිද්‍යානුකූලව ඇතිවන ආකාරයටය වේ.
                                                                          මාතෘත්වය හෝ පීතෘත්වය ගැන කතා කිරීමේදී මගහැරිය නොහැකි තවත් වැදගත් සංසිද්ධියක් තිබේ. එනම් පුරුෂයාගේ ප්‍රජනන බීජ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක් කරවන ජීවවිද්‍යානුකූල ස්වභාවික යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියයි. එහිදී ස්වභාවික ක්‍රමයට ස්ත්‍රියක් ගැබ්ගැනීමට පිරිමි ලිංගය ස්ත්‍රී අවයවය තුලට ඇතුල්කිරීම අනිවාර්‍ය වේ. මෙතැනදී ලිංගික කුහකත්වය නැමති සාධකය විසින් යම් පමණකට සමාජයේ පිළිගැනීමට මැලිකමක් ඇතිකරවන තවත් කරුණක් ඇත. ඒ ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී පුරුෂයා ස්ත්‍රිය සමග ලිංගිකව එක් වීමට දක්වන ලිංගික පෙරැත්ත හා සමානවම පුරුෂයා සමග ලිංගිකව එක්වීමට ස්ත්‍රියටත් ලිංගික පෙරැත්තක් ස්වභාවයෙන් පිහිටන බවයි. එය ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර්ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවයුත්තක් වන්නේද නැත. පිරිමි සහ ගැහැනු ලෙස ලිංගික විශේෂතා ගොඩනැගෙන්නේත් ඒ තුලින් විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරන්නේත් ස්ත්‍රී  හා පුරුෂ ප්‍රජනන බීජ එක් කිරීමේ යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියට අවශ්‍ය ලිංගික පෙරැත්ත වඩා ශක්තිමත් වන ආකාරයටයි.
                              

  කරුණු එසේනම් ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් විශේෂතා ගොඩනගා ගැනීම හා තම විරුද්ධ ලිංගිකයන් ආක්‍රෂණය කර ගැනීම පිරිමි පාර්ශවයට මෙන්ම ස්ත්‍රී පාර්ශවයටද අදාලය. මෙහිදී ස්ත්‍රියගේ පැත්තෙන් බලන කළ ඇය පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹ දරුවන් හදාගැනීම දක්වා පියවර ගනනාවක් ඔස්සේ සාර්ථක ඉදිරි ගමනක් යා යුතුය. එහිදී ඇය කුඩා කළ සිට ස්ත්‍රී පුරුෂ විශේෂතා හඳුනමින් ඊට සංවේදී ලෙස හැදී වැඩියයුතුයි. වැඩිවිය පැමිණීමත් සමග විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ලිංගික ලක්ෂණ හා දේහ ලක්ෂණ ඇයට පිහිටියයුතුය. ඒ සියල්ලට සමගාමීව පිරිමින් ආකර්ෂනය කරගන්නා ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විශේෂණයන් පෙන්නුම් කරන ස්ත්‍රී ක්‍රියාකාරකම් ඇයගේ ජීවිතයට ඇතුලත් කරගනිමින් ස්ත්‍රීත්වය සමජයේ නිරූපනය කළයුතු වේ. මාතෘත්වයේ පදනම වන ස්ත්‍රීත්වය සමාජයේදී ශක්තිමත් වීමටනම් මේ ගුණාංග නියත වශයෙන් තිබියයුතු වනවා පමණක් නොව එය එසේ වියයුතු බව පිළිගන්නට තරම් අප කාට කාටත් විවුර්ත බවක් තිබිමද අත්‍යාවශ්‍යයි. එහෙත් ලිංගික කුහකත්වය වඩා බලවත් වූ කළ එම විවුර්ත බව බොහෝ දුරට අවරෝහනය වේ. ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ වටා ගොඩනැගෙන විශේෂණයන්ටත් ගැරහීමට එය පැහැදිලිව මුල්වන්නේ එයයි.
                       
       මේ ස්ත්‍රී ගර්හාවට මුල පුරුෂෝත්තමවාදය යැයි කෙනෙකුට කිව හැකි වුවත් එය ඒ ආකාරයෙන් සත්‍ය නොවේ. කෙනෙකුගේ උත්තමභාවය හෝ අධමභාවය තීන්දු වන්නේ ස්ත්‍රී පුරුෂභාවයට වඩා කල්ක්‍රියාව මතයි. මිනිස් වර්ගයාගේ යහ පැවැත්ම සැලකීමේදී ඊට අදාල සියළු ගුණාංගයන් පවත්වාගත හැකි ගැහැනු පිරිමි කවුරුත් උත්තම ගොඩට අයත් වන අතර ඒ සියළු යහ ගුණාංග වනසන පිරිස ගැහැනු පිරිමි භේදයකින් තොරව අධම වේ. සේරටම වඩා කෙනෙකු සැබෑ උත්තම පුරුෂයෙකුනම් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි විශේෂතාවයන් වෙන්කර හඳුනාගැනීමටත් විරුද්ධ ලිංගිකත්වය හරියට පිළිගැනීමටත් පිටකොන්දක් තිබියයුතුය. මේ අනුව බලන කළ මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රිත්වයට නිග්‍රහ කිරීම ලිංගික කුහකත්වය මිස අන් කවරක්වත් නොවන බවනම් පැහැදිලි වේ. මේ කුහකත්වය උපරිමයෙන් පවතින සමාජ වල බොහෝ විට මාතෘත්වයනම් මහ ඉහලින් පිළිගනියි. නමුත් එහි පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය පිළිගන්නේ ඉතා මන්දගාමීවයි. බොහෝ කුහක පිරිමින් එයද කරන්නේ කාන්තාවක් ඇසුරෙන් ලිංගික තෘප්තිය ලබාගැනීමට පමණි.
                     මෙලෙස මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රීත්වයට නිග්‍රහ කරන කුහකත්වයේ සමාජයට වදදෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් ඇත. අනෙක් අතට මෙලෙස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයට ගැරහීම තුලින් යම් සුදන ගුණයක් පෙන්වීමට විශේෂයෙන් අපේ රටේ ඇතමුන් උත්සහ කරන බවක් පෙනෙන්නට තිබේ. ස්ත්‍රී ලිංගිකත්වයට ගරහන කුහකත්වය හා බැඳුනු අනෙක් මහා කුහකත්වය වන්නේ ස්වභාවික ගැහැනු පිරිමි විෂම ලිංගික චර්‍යාව දෙස පිළිකුලෙන් බැලීමට අනුබල දීමයි. මේ දෙකට ඇත්තේ ඉතා කිට්ටු අන්‍යෝන්‍ය සබඳතාවයකි. මේ කුහකකමට ව්‍යාජ වටිනාකමක් ලබාදෙන්නන් සාමාන්‍ය වශයෙන් කරන එක් දෙයක් වන්නේ, කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වල වගකීම පිරිමි ලිංගික ආශාවන්හි ස්වභාවයත් ඊට අනුකූලතාවය දක්වන ස්ත්‍රී ලිංගික ස්වභාවයත් මත පටවා පිරිමි ලිංගිකත්වය දඬුවමට ලක්කරන අතරතුර ස්ත්‍රී ලිංගික විශේෂතාවයන් කප්පාදු කිරීම ඊට විසඳුම් ලෙස යෝජනා කිරීමයි.

          කට පුරා මවුගුණ ගායනා කරමින් මාතෘත්වයේ ඇත්ත පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයට දැඩි ලෙස අපහාස කරන සුදනන් කරන තවත් බොහෝ දේ ඇත. මේ කුහක සුදනන්ට තිබෙන එක් ප්‍රධාන පෙලේ මානසික ව්‍යාධියක් වන්නේ, පුරුෂ මානසිකත්වයක් මෙන්ම පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට දණ්ඩ නමස්කාර කරමින් ඔවුන් වීරවරියන් ලෙස සලකන අතරේ, තමන්ගේම ලිංගිකත්වයත් ඇතුළුව සමස්ථ පිරිමි ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ස්ත්‍රී ලිංගික විශේෂත්වයන් පැහැදිලිව නිරූපනය කරන කාන්තාවන් ගණිකාවන්ට සමානකරමින් අපහාසයට ලක්කිරීමයි. මේ ව්‍යාධිජනක මානසිකත්වයෙන් පෙලෙන්නන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට මානසිකව බලෙන් පුරුෂභාවය පටවා ඒ ඇසුරෙන් කාන්තා ප්‍රගතිය මැනීමටත්, ඔවුන්ගේ බොරු සාරධර්ම වලට පටහැනි යැයි කියමින් ස්ත්‍රී ලිංගික ස්වභාවය හා විශේෂත්වයන් කප්පාදු  කිරීමටත් කැමැත්තක් දක්වති. මොවුන් රැයක් දවාලක් නොමැතිව දවස පුරාවටත් අවුරුද්දේ මුළු තුන්සිය හැටපස් දවස පුරාවටත් කරන්නේ පුරුෂයන් ලෙස පිරිමින් කරන දේ කරන, එලෙසම ස්ත්‍රී ලිංගික විශේෂතා ජීවිතයට ඇතුල්කරගැනීමටත් දරුවන් හැදීමටත් අකමැති කාන්තාවන්ට ගරු කරන හැටි ඔවුන් මෙන් කුහකයන් නොවන අනෙක් මිනිසුන්ට ඉගැන්වීමය.
                              
   
  මෙවැනි බොරු සාරධර්ම කාරයන් අපේ රටේනම් අධ්‍යාපනයට අරක්ගෙන සිටින ආකාරයත් දැකගත හැක. ඔවුන්ට අනුව දරුවන් ලිංගික වශයෙන් පරිනත වීමත් සමග ඔවුන් සිය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන උනන්දුව හා ලිංගික ආකර්ෂණය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවකි. විශේෂයෙන් ගැහැනු ළමුන්ට ඔවුන්ගේ ලිංගික ස්වභාවයට අනුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ක්‍රියාකාරකම් බොහෝදුරට තනම්ය. එහෙත් පාසල් සිසුවියන්ට ඔවුන් මවුවරුන් වූ කළ මවුකිරි දෙන ආකාරය ඉගැන්වීමට අධ්‍යාපන බලධාරීන්ට උනන්දුවක් ඇත. ඒ මාතෘත්වය අගයමින් ස්ත්‍රීත්වය කුණු කූඩයට දැමීමේ මහා සාර්ධර්මයට අනුවයි. මවු කිරේ යහගුණය ගැන ගී ගයමින් කිරි දීමටවත් දරුවෙකු හදාගැනීමේ ලිංගික අන්තර් ක්‍රියාවලියත් ඊට අනුකූල ස්ත්‍රී ලිංගික ස්වභාවයත් පිළිකුල් කරමින් තමන් විසින් තමන්වම රවටාගැනීම මේ සාරධර්ම රැකීමට උපන් සුදනන්ගේ මහා ගුණගරුක කමක්ද වෙයි.
         කුහකත්වයකින් තොරව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගන්නට විවුර්ත බවක් නැත්නම් එවැන්නන්ට දරුවෙකුට උපත දෙන ප්‍රජනන ක්‍රියාවලියේදී සිදුවන ගැහැනු පිරිමි ලිංගික අන්තර් ක්‍රියාවලියේ වැදගත්කම පිළිගන්නට තරම් මානසික හයියක්ද ඇත්තේම නැත. ඒ හැකියාව පිහටා නැති කිසිවෙකුට, දරුවන් හැදීමේ සැබෑ උවමනාවක් ඇති කාන්තාවකට පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹීම සඳහා අවශ්‍යතාවය ඇතිකරවන, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් මිනිස් වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය බව පිළිගන්නට හැකියාවක් කොහොමත් තිබෙන්නට බැරිය. තත්වය මේකනම් එවැනි කුහක සමාජ පසුබිමක කුහකත්වයට සියල්ල ඉකමවායන වැදගත්මක් ලබාදෙන්නන්  අම්මාගෙන් බීපු කිරි ගැන කියමින් මවු ගුණ වර්ණනා කිරීම මොන විහිළුවක්ද?                            

7 comments:

  1. ඔබගේ ලිපි ඉතා වටිනවා.මාතෲත්වය කියන එකයි මාතෘමූලික සමාජය කියන එකයි දෙකක්. මිත්‍රයා කැමතිනම් ඒ ගැණත් ලිපියක් පළ කරන්න.මව යනුවෙන් පිළිබිඹුවෙන්නෙ සංස්කෘතියේම නිරූපනයක් බවයි මා හිතන්නෙ.මාතෘමූලික සමාජවල පුරුෂයාට ජීවත්වීමේ අයිතියවත් පිළිනොගත් බවයි මා නෙට් එකේ දැක තිබෙන්නෙ.ස්ත්‍රී වන්දනාව කියන එක මාතෲත්වයට ගරු කිරීම කියන එකෙන් වෙන් කර හදුනා ගත යුතුයි.සමහරු අතීත මාතෘමූලික සමාජයක් ගැන කතා කරනවා.
    මාතෘමූලික සමාජය යන්න නූතන කාන්තා ව්‍යාපාරයට වඩා වෙනස් අදහසක්.පුළුවන් නම් ඒ ගැන ලියන්න.මම ඔබේ පාඨකයෙක් නිසයි මෙහෙම ඉල්ලන්නෙ

    ReplyDelete
  2. වටිනා පෝස්ටුවක්. මිනිස්සු පාට කණ්නාඩි විසිකරලා විවෘත ඇසකින් සමාජය දකින දවසක් කවදා ඒවිද?

    ReplyDelete
  3. ඉතාමත්ම වටින අගනා ලිපියක් මිත්‍රයා...හරිම තර්කානුකූලයි

    ReplyDelete
  4. සැබෑ නිදහස මිත්‍රයා අතිශය සංවාදශීලී මෙන්ම බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතාකිරීමට මැලිවන සමාජ දුර්වලතාවයක් ගැන කදිම විග්‍රහයක් කර තිබෙනවා. මෙවැනි ලිපි පුවත්පත් වගේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල කිසි දවසක පල වෙනවා අප දැක නෑ. එසේ පළවුවත් ඒවා සමබර විචාරශීලී ලිපි නොවේ. මෙවැනි තත්වයක් තුල ඔබේ ලිපි සමාජයට නිසි මගපෙන්වන ඒ වගේම මිනිසුන්ට ප්‍රඥ්ඥාවේ ආලෝකය ලබාදෙන වැදගත් විචාරයන් ලෙසයි මම දකින්නේ. ඔබට ජය.

    ReplyDelete
  5. මාතෘත්වයත් ස්ත්‍රිත්වයත් දෙකම තියෙන්නේ පුරුෂාධිපත්‍යවාදියාගේ හිත ඇතුලේ. ඒ නිසා ඔය දෙකටම පයින් දෙන්න ඕනේ නූතන කාන්තාවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තද? ඒ ටික විතරක් කරපුවහම ඇතිද දන්නෙ නෑ?

      Delete
  6. මේ ලිපිය එක්කිරීම ගැන මගේ සම්පූර්ණ ගෞරවය ඔබට ලබාදෙනවා. ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් සැබෑ ලෙස පීඩා කරන්නේ කාන්තා විමුක්තිවාදීන්. වංචනික ගුණධර්ම අටවගන්න එවු කරන්නෙත් කාන්තා විමුක්තිකාමීන්ගේ එම ක්‍රියාවට සහය දෙන එකමයි.

    ReplyDelete