Pages

Thursday, March 13, 2014

අතීසාරයට අමුඩ ගැසීම

 මේ ලිපිය ලියන්නට හිතුනේ මේ දවස් වල අන්තර්ජාලයට පැනවීමට යනවා යැයි කියන තහංචි හා ෆේස්බූක් තහනමක් ගැන ඇති වී තිබෙන කතාබහ ගැන හිත යොමු කිරීමෙන් පසුවයි. මේ සියල්ලට ආසන්න හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ ඇතිවුන සියදිවි හානි කරගැනීම් කීපයකට ෆේස්බුක් එක ගෑවී තිබීමයි. කෙසේවෙතත් ඒ සියල්ලට විසඳුම ලෙස ෆේස්බූක් තහනම අනුමත කළහැකිද? වරද ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේද නැත්නම් අපේ රටේ සමාජය තුල තිබෙන යම් යම් අඩුපාඩුද? මේ සිදුවීම් ගැන තවදුරටත් කරුනු ගෙනහැර දැක්වියයුත්තේ ෆේස්බූක් තහනමෙන් මෙයට පිළියම් සෙවීමේ අර්ථයක් නැතිකම පෙන්වා දීමටය.
              මේ අන්තර්ජාල වාරනය ගැන කතාබහ කරලියට පැමිණීමට ආසන්නතම හේතුව ලෙස හඳුනාගතහැකි පැහැදිලි සිද්ධිය වන්නේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ඉමන්දි සිසුවියගේ ෆේස්බූක් ගිනුමක් සම්බන්ධව පාසලේ විදුහල්පතිවරයා තදින් දොස් පැවරීමේ හේතුවෙන් ඇය සියදිවි හානි කරගැනීමයි. මේ ගැන මා වෙනමම ලිපියක් පලකළෙමි. එයින්ද මම පෙන්වාදුන්නේ මේ සිද්ධියේදී බරපතලම වරද කර තිබෙන්නේ ෆේස්බුක් සමාජ ජාලයවත් එහි ගිනුමක් පවත්වාගෙන ගිය සිසුවියවත් නොව මේ සිද්ධිය හමුවේ සම්ප්‍රදායික ලෙස මෝඩ වීරයෙකු වී අර සිසුවිය මරාගෙන කෑමට ගිය විදුහල්පති බවයි. අප විචාරයක් ඇතිකළයුත්තේද මේ ගැනම නොවේද?                 
                                 මේ සිදුවීම ගැන වෙබ් අඩවි ඇතුලු සෙසු ජනමාධ්‍ය මගින් විවිධ කතාබහ ඇතිවුවත් මේ තුල ඇති සැබෑ ප්‍රශ්නය ගැන බුද්ධිමත් විග්‍රහයක් ඒ කිසිවක් තුල දක්නට ලැබුණේ නැත. මේ සිද්ධිය සිදුවී සුමානයකට පමණ පසු දිනක මාහට ගුවන්විදුලි නාලිකාවක එම සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයෙකු අදහස් දක්වනු අසන්නට ලැබුණි. එහ්දී ඔහු කීවේ දරුවන් තුල අභියෝග ජය ගැනීමට හැකියාවක් නැතිකම මෙවැනි සියදිවි හානිකරගැනීම වලට මුල බවයි. එහෙත් මෙතන ඇති අභියෝගය කුමක්දැයි ඔහු කීවේ නැත. මෙහි ඇති කෙහෙල්මල් අභියෝගයක් නැත, ඇරත් මේ සිද්ධියට මුහුණදුන්නේ ගැහැනු ළමයෙකි. ඒ ගැන කතාකළ මහාචාර්යවරයා ඒ අදහස් පලකර අර විදුහල්පතිවරයාගේ ක්‍රියාව ගැන වචනයක්වත් නොකීවේය. මෙහි කතා කළයුතුම දෙය අර ගොන් වීර චරිතයක් රඟපෑමට ගිය සම්ප්‍රදායික වූ ලිංගික කුහකත්වය හිසේරුවාගත් විදුහල්පතිගේ මෝඩ හැසිරීමය. විදුහල්පතිගේ එම හැසිරීම අහේතුවකට වූවක් නොවේ. ඒ තුල තිබෙන්නේ සමාජය වසාගත් ලිංගික කුහකත්වය නම් මාරාන්තික විෂයි. මේ වස සමාජගත වන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට ගැරහීම වීරත්වයක් හා ප්‍රබුද්ධකමක් ලෙස සැලකීමට කුඩා කළ සිට කුහකකමට වන්දනාමාන කරන වැඩිහිටියන්ගෙන් ලැබෙන වැරදි අනුබලයන්ගෙනි. ලිංගික වශයෙන් පරිනත වන වයස් මට්ටමක සිටින දරුවෙකු ලිංගිකත්වයේ ස්වභාවය අනුව සිය විරුද්ධ ලිංගිකයන් ගැන දක්වන උනන්දුවත් ලිංගිකව ඔවුන් කෙරෙහි දක්වන ආකර්ශනයත් ඇතැම් කුහක වැඩිහිටියන්ට අනුව දරුවන් නරක් වීමක්ය. එමෙන්ම ඔවුන්ට අනුව එය දරුවන්ගේ ඉගෙනීමටද ප්‍රධාන බාධකයකි. කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ අර පාසල් සිසුවියගේ ෆේස්බුක් ගිනුම දැක කුලප්පු වූ විදුහල්පතිවරයාද මේ ආකාරයේම පුද්ගලයෙකි.  මේ සිදුවීමේදී අදාල සිසුවියගේ අකල් මරනයට හේතු වූ කිසිවෙක් නොකියන ඇත්ත හේතුව එයයි.
                            

  
පාසලක් තුල සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය තවත් එක් දෙයක් පමණි. කනගාටුවෙන් වුවත් කිවයුතු අනෙක් දෙය නම් සමස්ථයක් ලෙස රටේ සියලුම පාසල් වල ෆේස්බුක් සම්බන්ධ සිද්ධිම නොවුවත් මෙවැනිම තවත් දේ ප්‍රසිද්ධියේම සිදුවන බවයි. ඒවා සියදිවි හානි කරගැනීම දක්වා දුරදිග නොයන බැවින් ඒ තරම් කතාබහට ලක් නොවේ. මෙය අප විසින් අනුමත කළයුතු සමාජ තත්වයක්ද නොවෙයි. එමෙන්ම මෙය කිසිසේත් අපේ රටට අදාල සමාජයේ යහපත් ගුණාංගයක්ද නොවේ. මෙය පැහැදිලි සමාජ දුර්වලතාවයක් මත පදනම් වන්නකි. ඒ අන් කිසිවක් නොව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් නිවැරදිව පිළිගන්නට දක්වන මැලිකම නොහොත් ලිංගික කුහකත්වයයි. අපේ විචාරයට ලක් වියයුතුම දෙය වන්නේ මෙහිදී එම කුහකත්වයට සමාජය තුල බොරු වටිනාකමක් ආදේශ වී තිබෙන්නේ කෙසේද යන්නයි. 
             මේ බොරු වටිනාකම් සාවද්‍ය ලෙස බුදු දහමට ඈඳා තිබීම එක් ප්‍රධානතම හේතුවකි. එය අතීතයේ පටන් ආ දෙයකට වඩා මෑතක උත්සන්න වූවක් යැයි සිතියහැක. ඊට හේතුවනම් මේ බොරු සාරධර්මයන් පාසල් අධ්‍යාපනය හරහා වැඩිදියුණු වී තිබීමයි. මෑතක පිම්බුණු ඇතැම් ව්‍යාජ බුද්ධිමතුන් බුදු දහම තුලට ලිංගික කුහකත්වය ඇතුල් කර තිබෙන්නේ එයද වන්දනාමාන කිරීමට තරම් දෙයක් යැයි සිතමිනි. බුදු දහමේ ස්ංස්කාර ධර්මයෝ නැසෙනසුලු බවත් ඒවාට නිත්‍ය ස්වරූපයක් නැති බව හා අනිත්‍යතාවය ගැන ඉගැන්වෙයි. එවිට මිනිසුන් ගොඩනගන ලෝකයම මේ ගොඩට වැටේ. එයට ලිංගිකත්වය  අනුව සමාජයක ඇතිකරන සංස්කෘතික ගොඩනැගීම්ද අයත්ය. ගැහැනු පිරිමි ලිංගික ගැලපීම්ද මේ ධර්මතාවයටම අයත් වේ. මෙහිදී අර ව්‍යාජ බුද්ධිමතුන් මිනිසුන්ගේ ගැහැනු පිරිමි ලිංගික සබඳතා වලට අදාල ලිංගික ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුලට ලක්කළේ එහි බුදු දහමට අනුව අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන නොව තම ලිංගික කුහකත්වය මුල්කරගෙනය. එහෙත් බුදු දහමේ කිසිවිටක ගිහි සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ගැහැනු පිරිමි ලිංගික සබඳතා ඇතුලු ගැලපීම් දෙස පිළිකුලෙන් හෝ වෛරයෙන් බලන්නට උගන්වා නැත. බෞද්ධ සංස්කෘතිය තුලද පිළිගත් සම්මත ලිංගික චර්‍යා රටාවක් හා පවුල් සංස්ථාවක් තිබේ. පූජනීය ස්ථානයක් තුල ලිංගික ක්‍රියාකාරකමක් ඉස්මතු කිරීමේ යම් නොගැලපීමක් තිබේ. ඒ පංසලක් තුල වැඩ වාසය කරන්නේ ලෞකික ආශාවන් තුරන් කිරීමේ විමුක්ති මාර්ගය කරා යන පැවිදි පාර්ශවයක් වීම නිසයි. එය එසේ වූ පමණින් මුලු සමාජයේම ලිංගික ආශාවන් හා ගැහැනු පිරිමි සමාජ ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුල් කර ඒ කෙරෙහි වෛරයද ජනනය කරමින් පීඩා විඳියයුතු යැයි බුදුවරුන් හෝ රහතන්වහන්සේලා කිසිවෙකුත් දේශනා කර නැත. එහෙත් අපේ බෞද්ධ සමාජය තුල සිටිනා ඉහවහා ගිය මෝඩ ශ්‍රද්ධාව ඇත්තවුන් තම ලිංගික කුහකත්වය ආගමික ශ්‍රද්ධාව සමගද වැරදියට ගලපාගෙන සිටිති.

                     මෙහි ප්‍රතිඵලය ලෙස බෞද්ධ සමාජය තුල විශම ලිංගික ගැලපීම් හා ආශාවන් පිළිකුලට ලක්කර මහා ලොකු වැදගත් චරිත බවට තමන්ට පත්විය හැකියැයි සිතන පිරිසක් ඇතිවී තිබේ. මේ පිරිසෙන් ඇතමෙක් මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයක් වූ සමලිංගික චර්යාව අර තරම් ද්වේශයකින් පිළිකුල් නොකරති. තවත් සමහරෙක් එය බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියටද හරහට ගලපන්නට උත්සහ කරති.  නමුත් බුදු දහමට අනුව මේ විකුර්තිභාවයට බලපෑ පෙර කර්මය යහපත් එකක්ද අයහපත් එකක්ද යන්න නොකීමටද මේ කුහක බුද්ධිමතුන් වගබලාගන්නේ අවස්ථාවාදීවයි. මානවයා ඉතිහාසය පුරා සංස්කෘතික හර පද්ධතීන් ගොඩනගමින් ශිෂ්ඨ සම්පන්න වී ඇති බව ඇත්තකි. ප්‍රසිද්ධියේ මිනිස් ජන සමූහයක් තුල ගැහැනියක් හා පිරිමියෙකු ලිංගිකව එක් වීමේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකමක නිරත වීමේ සදාචාරාත්මක ගැටලුවක් පැහැදිලිව ඇත. එහෙත් එසේ වූ පමණින් සදාචාරය යන්න මුල් කරගෙන ලිංගිකත්වය යන්නෙහි ස්වභාවයම පිළිකුල් කර ප්‍රතික්ෂේප කළ නොහැකි වේ.
                              
  අපට සිතා බැලීමට ඇති අනෙක් කාරනේ නම් ලිංගික කුහකත්වය ඉස් මුදුනේ තබාගත් පිරිස ප්‍රභූත්වයට පත්වීම පසුපස ඇති සිද්ධිය කුමක්ද යන්නයි. මෙහිදී අප එදිනෙදා ජීවිතයේ කොතෙකුත් දැක ඇති සිද්ධියක් වන පෙම් සුව විඳින පෙම්වතුන් හා පෙම්වතියන් දැකීමෙන් කුඩා ළමුන් නරක් වන බව අඟවමින් ඇතැම් වැඩිහිටි පිරිස් පෙම්වතුන්ට ද්වේශසහගතව බැනවදින ආකාරය සලකමු.එසේ කරන කල්හි ඔවුන් වැඩිහිටියන් ලෙස තමන්ට යම් වැදගත්කමක් ඇතිකරගත හැකියැයි සිතන්නේ ලිංගිකත්වයේ ස්වභාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ලිංගික වශයෙන් එකිනෙකාට ආකර්ශනය වී සංකීර්ණ සබඳතාවයක්(ලිංගික සංසර්ගයද ඇතුලුව )ගොඩනැගෙන ආකාරය දැකීමට ඔවුන් තුල ඇති උපන් ලැජ්ජාව හේතුවෙනි. මේ ලැජ්ජාව අප කාට කාටත් විවිධාකාරයෙන් ඇත. නමුත් එය එසේ වූ පමණින් එම ලැජ්ජාසහගත බව ලිංගිකත්වයේ ස්වභාවයට වඩා වටිනා යැයි තක්සේරු කිරීමට කිසිවෙකුටත් නොහැකිය.  ඒ වෙනත් කිසිවක් නිසා නොව වැදගත් යැයි සලකන එම විලි ලැජ්ජාව ඉස් මුදුනේ තබා ගැනීමට හෝ මනුස්සයෙකු ලෙස කෙනෙක් මෙලොව එලිය දකින්නේ ඒ ලැජ්ජාව නිසාම පිළිකුල් කරන ස්වභාවධර්මයෙන් දායාද වූ ලිංගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස වන නිසයි. ඔය ටික තේරුම්ගැනීමේ නොහැකිකමට වඩා කුහකත්වයම අධි මාන්නයක් කරගත් පිරිසට ඇත්තේ ලිංගික කුහකත්වය තුලින් තම ප්‍රතිරූපය පුම්බාගතහැකිය යන වැරදි වැටහීමයි. මේ කුහකත්වයන් මදකට හෝ පැත්තකින් තබා මොහොතක් විවුර්ත භාවයකින් යුතුව මෙලෙස පෙන්වාදුන් කරුනු දෙස බැලියහැකිනම් ලිංගික කුහකත්වයට සාවද්‍ය වටිනාකමක් එක්කිරීමෙන් සමාජයට ඇතිකරන පීඩනය කොපමණදැයි සිතාගැනීම අපහසු නැත. මෙරට සමස්ථ අධ්‍යාපනය පුරාවට ඔඩු ගිය මේ කුහක ප්‍රභූත්වය පාසල් පද්ධතිය පුරාවට ඇතිකරනු ලබන්නේ මේ පීඩාවයි. ගැහැනු ළමයෙකු හා පිරිමි ළමයෙකු එකට සිටින පින්තූර දැක කුලප්පු වී යකා නැටූ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයාගේ හැසිරීම රටට ප්‍රදර්ශනය කළේත් එයම නොවේද?

               පාසල් තුල පමණක් නොව කවර අධ්‍යාපන ආයතනයක් තුල වුවද විනයක් තිබියයුතු බව පිළිගත හැක්කකි. නමුත් මේ විනයට ලිංගික කුහකත්වය අයත් නොවියයුතුය. පාසලක ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගත්තද එහිදී ඔවුන්ට ඒ ගැන අවවාද කිරීමේ පිළිවෙලක් තිබේ. ඔවුන්ට එම වයසේදී එවැනි සම්බන්ධතා පැවැත්වීම එතරම් සුදුසු නොවන බවක් පෙන්වා දෙන්නේනම් එයටද පැහැදිලි හා පිළිගතහැකි හේතු ඉදිරිපත් කරමින් එය කළයුතුය. එවැනි තත්වයකදී පාසල් සිසුන් ලිංගික වශයෙන් පරිනත අවධියක සිටියත් සමාජයේද පරිනත වීම තම ලිංගික සහකරුවන් හා සහකාරියන් සොයාගැනීමට අත්ය්‍යාවශ්‍ය බව ඔවුන්ට කාරුණිකව පැහැදිලි කිරීමේ අපහසුවක් නැත. නමුත් වෙන්නේ ඒය නොවේ. බොහෝ පාසල් වල එවැනි අවස්ථා වලදී සිසුන්ට විදුහල්පතිවරුන් ආචාර්‍යවරුන් නින්දා අපහාස කරමින් බැනවැදීම හෝ වෙනත් ආකාරයකට මානසික හින්සාවකට ලක්කිරීම සිදුවෙයි. මෙය අවාසනාවන්ත තත්වයකි.
                         පාසල් තුල සිසුන්ට ඉගැන්වීම යනු කැලෑ  සතුන් හීලෑකරන ආකාරයට කළහැක්කක් නොවේ. අනෙක ළමුන් වයසින් වැඩෙන්නේ නිකම්ම නොවේ. ඔවුන් තම ජීවිත සාර්ථක කරගැනීම උදෙසා යම් යම් අත්දැකීම් ලැබීම සිදුවියයුතුමය. එහිදී ගැහැනු හා පිරිමි වශයෙන් ළමුන් සමාජයට අවශ්‍ය ලිංගිකත්වයේ පරමාදර්ශයන් වෙන්වෙන් වශයෙන් මවුපියන් ඇතුලු වැඩිහිටියන්ගෙන් ලබාගතයුතුය. එහෙත් ඇතැම් කුහක වැඩිහිටි පිරිස් ළමුන්ට ඒ ආදර්ශය හරිහැටි ළබා නොදෙති. පාසල් ගුරු විදුහල්පතිවරුද කියන්නේ ඒ ආදර්ශයට පෙර ඉගෙනගතයුතු බවයි. එයින්ද නොනවතින විදුහල්පතිවරුන් හා ආචාර්‍යවරුන් ගැහැනු ළමුන් හා පිරිමි ළමුන්ට වෙන් වෙන්ව තම ඉදිරි පැවැත්මට අවශ්‍ය ලිංගිකත්වයේ මානසික විශේෂනයන් ඇතිකරගන්නට පාසල තුලදී කිසිදු රුකුලක් ලබා නොදෙමින්, ඇතැම් විට ඔවුන් ගොඩනගාගන්නා ස්ත්‍රී පුරුෂ භාවයේ අනන්න්‍යතාවයන් පවා නැතිකරදැමීමට කටයුතු කරන්නේ අනාගතේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියා කළයුතුයැයි බොරු පණ්ඩිතකම් කියමිනි. මේ පාසල් වල විනය කමිටු වලටත් විදුහල්පතිවරුන්ටත් අනුව ලිංගික වශයෙන් පරිනත වයස් කාණ්ඩ වල සිටින ළමුන් ගැහැනු පිරිමි වශයෙන් ආකර්ශනය වීමත් ප්‍රේම සම්බන්ධකම් ඇතිකරගැනීමත් විනය විරෝධී ක්‍රියා වන අතර මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයන් වන ගැහැනු ළමුන් පිරිමි ලිංගික ස්ව්භාවය අනුකරනය කිරීමත් පිරිමි ළමුන් ස්ත්‍රී ස්වභාවයන් වර්ධනය කරගැනීමට යෑම හා සමලිංගික චර්යාව ඔවුන්ට ඒතරම් ගැටලුවක් නැත. ඔවුන්ගේ කුහක මානසිකත්වයට අනුව විකුර්ති ලිංගික චර්යාව ප්‍රජනනයට සම්බන්ධ නැති බැවින් එය එතරම් ගනනකට නොගත්තාට ගැටලුවක් නැතිය. ෆේස්බුක් තහනමට පෙර සොයාබලා සමාජයෙන් ඉවත්කරදැමියයුතු දුර්වලතාවයන් මේවායි.
                         

                            පාසල් සිසුවියකගේ ෆේස්බුක් ගිනුමක හුටපටයක් එම සිසුවියගේ ජීවිතය බිළිගනිමින් කෙළවර වියයුතු නැත. මෙවැනි ගැටලු විසඳාගැනීමට පෙර ගැටලුවේ පසුබිම හඳුනාගතයුතු වේ. පළමුව හඳුනාගතයුත්තේ ලිංගික කුහකත්වය නම් මානසික දෝෂය සමාජයට එල්ල්ලකරන පීඩාවේ ස්වරූපයයි. එය නිවැරදිව හඳුනාගැනීමෙන් පසුව කළයුත්තේ එයට අනවශ්‍ය වැදගත්කමක් ලබාදෙමින් ඒ මත පදනම්වන තවත් බොරු සාරධර්මයන් ගොඩනැගීම නවතා දැමීමයි. ඒ වෙනුවට ස්වභාවධර්මය සමග එකට යන නිවැරදි සදාචාරයන් ලිංගිකත්වය හා සබැඳෙන පරිදි ඇතිකළයුතුය. ඇත්තෙන්ම අමුතුවෙන් ඇතිකිරීමට දෙයක් නැත. අපේ පැරණි සමාජයෙන් වුවද ගැනීමට බොහෝ ආදර්ශයන් තිබේ. අනිවාර්‍ය ලෙස ලිංගික කුහකත්වය හිස්මුදුනේ තබාගත්තවුන් ප්‍රභූත්වයේලා සැලකීමද මෙහිදී නොකළයුතුම වේ. මෙලෙස ප්‍රශ්නය හා ප්‍රශ්නය උග්‍ර අතට හරවන පසුබිම හඳුනාගෙන සමාජය පීඩාවට පත්කරන ලිංගික කුහකත්වයට ඇති ව්‍යාජ වැදගත්කම ඉවත්කර දැමීමෙන් මෙපිටට වෙනත් විසඳුම් මෙයට නැත.ඒ ටික සිදු නොවනතාක් ඉදිරියටද මෙවැනිම ෆේස්බුක් සිද්ධිම නොවුනත් පාසල් සිසුන්ගේ ජීවිත බිළිගන්න වෙනත් සිදුවීම් මීටත් වඩා දරුණු ලෙස සිදුවියහැක. ෆේස්බුක් තහනම අතීසාරයට අමුඩ ගැසීමක් වන්නේ මේ වාතාවරනය යටතේයි.    

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කියන්න තියෙන දේ කෙලින්ම කියපු එකනම් මාර වැදගත්. ඒත් ඉතින් අපේ රටේ ඉස්කෝල වල තියෙන මේ තත්වේ වෙනස් වෙයිද කියන එක සැකයි.

    ReplyDelete
  3. මේ අදහස හොඳයි. ඇත්තටම ෆේස්බුක් තහනම නෙවෙයි වෙන්න ඕනෙ කුහකත්වය සමාජයෙන් පලවාහැරීමයි. ඔය ටික අපේ රටේ මෝඩ චරිතවත් මිනිස්සුන්ට කවදා තේරෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.

    ReplyDelete
  4. ලොකු මහන්සියක් වෙලා විශාල දැනුම් සම්භාරයක් අපට ලබා දීම ගැන ස්තුතියි.මේ කරුණු වගකයුත්තන්ගෙ අවධානයට පාත්‍ර වෙන්න ඕන

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් මේ රට ගොඩ ගන්න පුළුවන් උබ වගේ හිතන 5000 හිටියා නං

    ReplyDelete