Pages

Sunday, June 22, 2014

ලිංගිකත්වයේ ස්වභාවයන් රසවිඳීම ලැජ්ජාවට හා භීතියට කාරනයක් වියයුතුද?


  මෙලොව උපදින ඕනෑම කෙනෙකුට ඉන්ද්‍රිය සංවේදනයක් කියා දෙයක් උපතින් පිහිටන බැවින් ඒ ඉඳුරන් පිනවීමද අප සියලු දෙනාගේ ජීවිත වල ප්‍රධාන අංගයක්ද වේ. රසවින්දනය යන්න ඕනෑම කෙනෙකුට ස්වභාවයෙන් පිහිටයි. ඉඳුරන් පිනවීමේ යම් යම් සම්මතයන් ඕනෑම සමාජයක දක්නට ඇතත් ඒවා සොබාදහමේ සීමාවන් ඉක්මවා යන තහංචි නොවියයුතුය. රස වින්දනය යන්නේ විවිධ පැතිකඩවල් ගැන කතා කරන්නට බොහෝ දෑ තිබේ. මම මේ ලිපියෙන් කතා කිරීමට යන්නේ ලිංගිකත්වයට අදාල වන ක්‍රියාකාරකම් දැකීමෙන් හා අත්විඳීමෙන් මනස පිනවීම ගැනය.
                  මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව සත්ව ලෝකය දෙස බැලුවද ලිංගිකත්වය යනු ජීවයේ යහ පැවැත්ම හා තදින් බැඳී පවතින්නකි. මිනිසුන් සැලකීමේදී ලිංගික මනෝභාවය තරමක් සංකීර්ණය. ඒ නිසාම විරුද්ධ ලිංගික ආකර්ෂණය සඳහා මිනිස් වර්ගයා විසින් දියුණු උපක්‍රමයන් යොදාගනුලබයි. මානව ප්‍රජාවක් තුල දක්නන ලැබෙන සමස්ථ ක්‍රියාකාරකම් පද්ධතිය පුරාවටම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ගැබ්වෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රිය මට්ටමක පවතින ලෙසින්ය. මේ සිද්ධි සලකා බලන විට ලිංගිකත්වයට අදාල පුළුල් රසවින්දනයක් මානව ශිෂ්ඨාචාරය තුල ගොඩනැගී තිබීම ස්වභාවිකය. එය එසේ වන්නේ ලිංගිකත්වය යනු මෙලොව උපදින කවරෙකුගේ වුවද ජීවිතයේ ඉතා වැදගත්ම අංගයක් වන හෙයිනි. විරුද්ධ ලිංගික ආකර්ෂණය හා බැඳුනු ක්‍රියාකාරකම් රසවිඳීම පැහැදිලි ලෙස ලිංගික හැඟීම් උද්දීපනය සමග බැඳී ඇත. මිනිස් ප්‍රජාවක් තුල ප්‍රසිද්ධියේ ලිංගික සංසර්ගයේ යෙදීම සභ්‍යත්වයේ සීමාවන් අනුව පිළි නොගත්තද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගික සක්‍රියාතාවය හා ඊට පසුබිම් වන හැඟීම් දැනීම් ප්‍රශස්ථ තත්වයක පැවතිය යුතුමය. මනුස්ස ප්‍රජාවක සජීවී ගතියට හා යහ පැවැත්මට එය අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම පෙරට එන්නේ ඊටද වැදගත්කමක් නිරායාසයෙන් ලැබෙන නිසා නොවේද?
                      

   විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික සංසර්ගය පදනම් කරගනිමින් ඊට යම් පසුබිම් ශක්තියක් සපයන ක්‍රියාකාරකම් පද්ධතියක් ඕනෑම සංස්කෘතික වටපිටාවක් තුල තිබෙන්නේ සාර්ථක ලිංගික ක්‍රියාවලියක් පවත්වාගැනීමට අවශ්‍ය ලිංගික හැඟීම් ප්‍රශස්ත උද්දීපන මට්ටමක පවතින ආකාරයටය. මෙය කාට පිළිගත නොහැකි වුවත් සමාජයක ගොඩනැගීම් වල ආකෘතිය දෙස බුද්ධිමත්ව බැලියහැකි ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන සත්‍යකි. මෙහිදී ගැහැනු පිරිමි දෙපාර්ශවයම විරුද්ධ ලිංගික විශේෂණයන්ට දක්වන ආකර්ෂණය ඇසුරෙන් මානසික උද්දීපනයක් ලැබෙන ලෙස මානව ක්‍රියාකාරකම් බොහොමයක් ගොඩනැගී තිබීම සැබවින් ආශ්චර්යක් නොවේ. එතැනදීද කැපී පෙනෙන්නේ පිරිමින් ස්ත්‍රී ලිංගික විශේෂතාවයන්ට දක්වන ඇල්ම වේ. සාමාන්‍ය වශයෙන් ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා සුවිශේෂතා දැකීමෙන් පිරිමි ලිංගික හැඟීම් ඉක්මනින් සක්‍රීය වීම ඊට හේතුවයි. මේ සක්‍රීයතාවය මිනිස් වර්ගයාගේම යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් තිබියයුත්තකි. අප සරල උදාහරනයක් ලෙස කලාව සැලකිල්ලට ගතහොත් ඒ තුල ලිංගිකත්වය ආශ්‍රිත රස වින්දනය ගැබ් වූ කොතෙක් දේ සොයාගතහැකිද? චිත්‍ර, මූර්ති කලා තුල ස්ත්‍රී නිරුවත් කොපමණ අන්තර්ගත වනවාද? මෙය පොදුවේ බොහෝ සමාජ සංස්කෘතික වටපිටාවන් තුල දැකිය හැක්කකි. සාහිත්‍ය තුල ප්‍රේමාලිංගනය ඇඟවන නිර්මාණ අතිශය සුලභය. ඒ අහේතුවකටද? නැත. එසේ වන්නේ මේ සියල්ල මානව වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාය. මිනිස් වර්ගයා කාලයත් සමග පරිනාමයට ලක්වීමේදී මේ අංගයන්ද විකසනය වී ඉදිරියට ඇවිත් ඇති බව පැහැදිලි කාරනාවක්. තාක්ෂණය ඉදිරියට පැමිණීමත් සමග ඒ තුලින්ද ලිංගිකත්වයේ යහගුණයන් අත්විඳීමට හා රසවින්දනයට පිටිවහල ලැබී තිබීම අමුතු ආශ්චර්යයක් නොවේ.
                            
කැමරා වැනි උපාංග නිපදවා නොතිබුණු කාලයේ ස්ත්‍රී නිරුවත චිත්‍රයට නැගීම හා කැටයම් කිරීම මූර්තිමත් කිරීම වඩා ප්‍රචලිත විය. ගුවන්විදුලි රූපවාහිනී නොතිබුනු කාලයේ මිනිසුන්ට ලිංගික සංවේදනය හා රසවින්දනයන් නොතිබුණා නොවේ. තාක්ෂණය සමග ලිංගිකත්වයේ ස්වභාවය අත්විඳීම හා රසවින්දනයද පුළුල් වී ඇති බව නොරහසකි. ඒ ලිංගිකත්වය යනු මනුස්ස ජීවිත වල පමණක් නොව සමස්ථ සජීවී ලෝකයේම වැදගත්ම අංගයක් වන බැවිනි. මනුස්සයන් සමාජයට විවුර්තව නොකරන එහෙත් රහසින් සංවුර්ත ලෙස ලබන ලිංගිකත්වයේ යහගුණයන් රසවිඳීමක් පැහැදිලිව ඇත. ඇත්තෙන්ම මේ අංග පොදු එක්කඟතාවයන් බවට පත්වුන කළ යම් යම් සම්මුතීන් යටතේ සමාජයේද විවුර්තව නැතුවා නොවේ. උදාහරන වශයෙන් ගත්කළ පිරිමි ලිංගික හැඟීම් සක්‍රිය වීමට පසුබිම් ශක්තියක් ලැබෙන ලෙස නිර්මාණය වන කාන්තා ඇඳුම් විලාසිතා ගෙනහැර දැක්විය හැක. ගැහැනු පිරිමි ලිංගිකත්වය අනුව බෙදෙන මානව ක්‍රියාකාරකම් කොයි දේය තුලත් අවසානයට ලිංගික සංවේදනය හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැබ් වී තිබේ. ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය වැඩි දියුණු වී ඇති මෙකළ ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම ඒ තුලින් ඉදියටවිත් තිබෙන්නේ එය නොවැලැක්වියහැක්කක් බවද ඔප්පු කරමිනි. මනුස්සයන් ප්‍රසිද්ධියේ නොකරන ලිංගික ක්‍රියාකාරකම් පවා ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුලින් කතාවට නැගීම හා රසවිඳීම මෙකළ ඒ තරම් අමුත්තක් නොවී ඇත. එයින් එක් අතකට සමාජයේ ලිංගික කුහකත්වයන් තුලින් ඇතිකරන මානසික පීඩාවද එක්තරා මට්ටමකට සමනය වන බවත් ඉතා පැහැදිලි වේ. කැමරාව නිපදවීමත් සමග කාන්තා නිරුවත හා ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් ඡායාරූපගත කිරීමේ අදහස් මිනිස් සිත් තුල පහල වීම ආශ්චර්‍යක්ද? නැත. ඒ මිනිස් ස්වභාවයක් අනුව සිදුවන්නකි. තාක්ෂණයේ ඉදිරි ගමනත් එක්ක ඩිජිටල් ව්විඩියෝ උපාංග කරලියට පැමිණීමෙන් පසු මේ ක්‍රියාකාරකම් සිනමා සිත්තමට නැගී ඇත්තේද ආශ්චර්‍යක් නොවන මින්නිස් සිතුම් පැතුම් වලම සාමන්‍ය ස්වභාවය නිසාමය.
                         
මානවයා ඇතිකරගෙන තිබෙන මානසික පරිනාමය ඔස්සේ ගොඩනැගෙන සභ්‍යත්වයේ සීමා වලට අනුව ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම නුසුදුසු දෙයක් ලෙස සැලකෙන්නේද ලිංගික නිදහස සිමා කිරීමේ උපක්‍රමයක් ලෙස නොවේ. මනෝවිද්‍යානුකූලව බලන විට එසේ එලිපිට ලිංගික ක්‍රියාකාරකම් සුලභ වුවහොත් ලිංගිකත්වයේ මානසික සංවේදනයන් කාලයත් සමග දුර්වල වී එහි සැබෑ වින්දනය නැතිවීමද සිදුවියහැක. මේ කරුණු සාධකයන් අතර සමතුලිතතාවයක් ක්‍රමානුකූල පැවැත්මක් ඉදිරියට ගෙනයන මිනිස් ප්‍රජාවක අනිවාර්‍ය වශයෙන් තිබියයුතුම වේ. ලිංගිකව පරිනත කවරෙකු වුවත් තම ලිංගික ජීවිතයට පසුබිම් සහයක් ලැබෙන ලෙස ලිංගික සංවේදනයන් ඇතිකරවන දේ දැකීම ඒහා සම්බන්ධ ක්‍රියාකාරකම් රසවිඳීම රහසින් හෝ කරයි. ලොව බොහොමයක් රටවල හා විවිධ සංස්කෘතීන් තුල කාන්තා ඇඳුම් විලාසිතා නිර්මාණය වී තිබෙන්නේම පිරිමි ලිංගික සංවේදනයන් සක්‍රිය කරවන හා ලිංගිකව ප්‍රසන්න හැඟීම් ඇතිකරවන ලෙසින් වන්නේ එය එක්තරා පොදු එකඟතාවයක් බවට පත්වී ඇති බැවින් වන අතරම ලිංගිකව එසේ මනස පිනවීම වරදක් වන්නේද නැත. ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන්ට අනුව කාන්තාවන්ද එයට ස්වභාවයෙන් දක්වන්නේ ධනාත්මක ප්‍රතිචාරයකි.
                              

                           
කෙසේ හෝ වේවා සභ්‍යත්වයේ සීමාවන්ද ඉක්මවා යන ලිංගික කුහකත්වයන් මනස ආක්‍රමණය කරන කළ මේ ස්වභාවික ගති ලක්ෂණයන් පිහිටා තිබෙන මනුස්සයන්ම එකිනෙකාගේ එම ගති ලක්ෂණයන් පිළිකුල් කිරීමට පෙළඹෙති. ඇතැම් පුද්ගලයන් තමන් විසින් රහසින් කරන දේ වෙනත් කෙනෙක් කරනු දැකීම පිළිකුල් කරන්නේත් එය වරදක් ලෙස දකින්නේත් මේ මනෝ ක්‍රියාවලිය අනුවයි. තම තමන් හොරෙන් ලිංගික උත්තේජනයන් ලබමින් වෙනත් කෙනෙකු එයම ඒ ආකාරයට කිරීම වරදක් ලෙස දකින්නේත් ලිංගික උත්තේජනයන් සක්‍රියතාවයන් යම් මට්ටමකට සමාජය තුල තිබීම අනිවාර්‍ය දෙයක් වෙද්දී ඒ බව පිළිනොගනිමින් එම අංගයන් මර්ධනය කිරීමට පවා අනවශ්‍ය උත්සහයක් දරන්නේත් මේ කුහකකම් විසින් මනස අන්ධ කරනු ලැබීම තුලයි. පුරුෂ ලිංගික සංවේදනයන්ට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊට අනුකූලතාවය දක්වන හා සමස්ථ පුරුෂ ලිංගිකත්වයට සමගාමී ලෙස ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට කුහක පිරිමින් විසින්ම අසීමිත ලෙස ගරහමින් මානසිකව පීඩා කරන්නේත් මහා ලොකු වටිනා දෙයක් හැටියට සැලකෙන ලිංගික කුහකත්වය නිසා නැත්නම් වෙන මොකක් නිසාද? කාන්තාවන් ලිංගිකත්වයේ ස්වභාවයට අසීමිත ලෙස බිය වද්දමින් පිරිමි ලිංගික සංවේදනයන්ට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම ලැජ්ජාවට කරුණක් ලෙස හුවා දක්වන අතරම අනවශ්‍ය ලෙස ලිංගික අතවර බියක් සමස්ථ ස්ත්‍රී ජනගහනය තුලම කෘතීමව ජනනය කරවන්නේත් කුහක මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවේ.මෙහි අනෙක් ප්‍රතිඵලය ලිංගිකත්වයේ ස්වභාවය අසීමිතව පෙළන කුහකකම් මත පිහිටා බොරු සාරධර්ම ගොඩනැගීමයි.
                              
  
  මිනිස් වර්ගයාගේම යහපත් පැවැත්ම සැලකිල්ලට ගත්කළ ඊයට ලොකුම හානියක් කරන්නේ තමන් විසින් තමන්ව රවටාගන්නා කුහකයන් මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හඳුනන ඊට අනුකූලතාවය දක්වන පිරිස නොවේ. අනෙක නම් ලිංගිකත්වයේ ස්වභාවයට අනුවම ස්ත්‍රී පුරුෂ ලිංගික ස්ම්බන්ධතාවයන් තුලින් එහිම ප්‍රතිඵලයක් ලෙස මනුස්සයන් වන අප සියලු දෙනා මෙලොව බිහිවී ඇත්නම්, එම ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ඒ වටා ගොඩනැගෙන ලිංගික උත්තේජනය හා සක්‍රියතාවය ඇතිකරවන ක්‍රියාකාරකම් තුලින් සමාජයට හානියක් වේයැයි කීම මොන විහිලුවක්ද? එවැනි මෝඩ මතයක එල්බගෙන ලිංගික ක්‍රියාකාරකම් මාධ්‍ය තුලින් රසවිඳීම සීමා කිරීමට තහංචි දැමීමට යෑම සත් ගුණවත් බවක්ද? බටහිර රටවලින් කඩා පාත්වන නිල් සිනමා වෙබ් අඩවි ගැන පැහැදිලි ගැටළු තිබේ. ඒ වෙනත් දෙයක් නොව බටහිර හා අනෙකුත් බටහිර ආරයට අනුකරනවාදීව යන සමාජ තුල මේ වන විට ලිංගිකත්වය එකම අච්චාරුවක් වී මනෝ විකුර්තිතා වලින් ගහන වී තිබීමයි. බටහිර ආරයට යන ලිංගික වෙබ් අඩවි වලින් සමලිංගිකත්වය ඇතුලුව විකුර්ති කාමය (LGBT) වැඩි වශයෙන් හුවා දක්වන්නේ ඒ නිසයි. එය එසේ වූ පමණින් සියලුම ලිංගික රසවින්දනයන් තහනමට ලක්කළ නොහැක. අද අවශ්‍ය වන්නේ ලිංගිකත්වයේ ස්වභාවය තලා පෙලන කුහක බොරු සාරධර්ම හා ද්වේශසහගත නීති නොව සැබෑ සාරධර්ම හා ලිංගිකත්වයේ ස්වභාවය අවුල් කිරීම වලක්වන නීති වෙයි. ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගැනීම මෙන්ම තමන් වැනිම අනෙකුත් පුද්ගලයන්ගේ ලිංගික ස්වභාවයට ගරු කිරීමත් තම විරුද්ධ ලිංගිකස්වභාවය නිවැරදිව පිළිගැනීමත් සැබෑම මිනිස් ගුණධර්ම වන අතර නීති මගින් හෝ රැකියයුත්තේ එවැනි දේ මිස කුහකකම් නොවේ.




7 comments:

  1. ඇත්තෙන්ම, ඔබේ ලිපි ගොඩක් වටිනවා. ඔබේ ලිපි කියවන විට මට මතක්වෙන්නෙ නිරුවත් වානරයා පොත. අනිත් එක, මෙවැනි විවාධාත්මක මාතෘකාවක් තෝරා ගැනීමට තරම් ඔබ නිර්භීත වීම පිළිබඳ ස්තූතියි.

    ReplyDelete
  2. මම බ්ලොග් ලිපි අතරින් කියවපු අති විශිෂ්ඨ ලිපියක් මේක. දිගටම මේ වගේ ගොඩ දෙනෙක් කතා කරන්න කැමති නැති දේවල් විචාරය කරන්න.

    ReplyDelete
  3. මේ වාගෙ ලිපි ලියන විශිෂ්ට මිනිහෙක් අපේ සමාජයෙ ඉන්න එක ගැන මම මුලින්ම පුදුම වෙනව.බ්ලොග් වල තියන පිස්සු විකාර දිහා බලන කොට මේ අදහස් ඉදිරිපත් කරල තියන විදිය කොච්චර වටිනවද.මෙයා හැංගිලා බ්ලොග් ලියන්න ඕන කෙනෙක් ද.මට නම් හිතෙන්නෙ සමාජය මෙහෙයවන්න ඕන නියමුවෙක් කියල.
    මේ වගෙ ලිපි තියන බ්ලොග් අතලොස්සයි තියෙන්නෙ.රැවුල වවාගෙන සියල්ල දන්නව කියල හිතාගෙන දේශපාලන විචාර කරමින් තමන්ගෙ හීනමානෙ වහගන්න පන්ඩිත කතා කියන පිස්සො අතර මේ වගෙ ලේඛකයො අගනා මැණික්.

    ReplyDelete
  4. නියමයි මිත්‍රයා. පෝස්ට් එකනම් සුපිරි.

    ReplyDelete
  5. වැදගත් ලිපියක්.................

    ReplyDelete
  6. ඉදිරියටත් මේ වගේ ලිපි එක්කරනවා. මේවා කවුරු කතා නොකළත් කතා කරන්න පුළුවන් අය කොහේ හරි ඉන්න ඕනේ.

    ReplyDelete
  7. මේ වගේ විකාර ලිපි කියවන්න අපට වෙලා නෑ. අනෙක මේ වගේ දේවල් අහන්න දකින්න තරම් අපි පවුකාරද කියල හිතෙනවා මේක කියවද්දී.

    ReplyDelete