Pages

Monday, April 21, 2014

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස


ලිංගික නිදහස ගැන වැඩිදුර කරුණු කීමට මත්තෙන් ලිංගික නිදහස යන්න ගැන සමාජයේ තිබෙන පැටලිලිසහගත බව නිරාකරනය කරගැනීමට ඉවහල් වන ලිපියක් සැපයීමට අදහස් කළෙමි. ඊට හේතුව මෑත කාලයේ බටහිර සමාජයේ ආකල්ප ඇසුරෙන් ගොඩනැගුන බොරු ලිංගික නිදහසක් ගැන මතවාදයන් රටම මුලාකරමින් පැවතීමයි. මෙරට ඇතමුන්ට අනුව බටහිර රටවල මහා ලොකු ලිංගික නිදහසක් ඇත. එහෙත් ඔවුන්ගේ මේ සිතුවිල්ල ඒ තරම් නිවැරදි නොවන්නේ ලිංගික කුහකත්වයන් බටහිර සමාජයේද දිනෙන් දින වැඩිවෙමින් පවතින තත්වය නිසාය. බටහිර රටවල අති විශාල ලිංගික නිදහසක් ඇත යන නිගමනයට එළඹෙන ඇතමුන් එය නීර්ණය කර තිබෙන්නේ සමලිංගිකත්වය ඇතුලු සියලු අස්වාභාවික ලිංගික චර්‍යාවන්ට බටහිර රටවල ඇති පිළිගැනීම හා එසේ පිළිගැනීමට බලපෑ පස්චාත් නූතනවාදය, ස්ත්‍රීවාදය වැනි දේ සලකායි. ඇත්තෙන්ම මේ නිගමනය හරිද?
       එහි හරි වැරැද්ද සෙවීමටද මත්තෙන් අපට විමසා බැලීමට තවත් දෙයක් ඇත. එනම් ලිංගික නිදහස යන්න අප තේරුම්ගන්නා සමාජ තත්වය අනුව ඒයද වෙනස් විය හැකි බවයි. කෙසේ වෙතත් කල්පවතින නිරවුල් සමාජ තත්වයක් සහිත මිනිස් ප්‍රජාවක් ගොඩනැගීමේදී ස්වභාවධර්මයට අනුකූල වන ලිංගික දිවි පෙවෙත සංස්කෘතික වටපිටාවේ සජීවී බවද පවත්වාගන්නා අත්තිවාරම ලෙස ක්‍රියා කිරීම වසන් කළ නොහැකි සත්‍යකි. එය ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මිනිස් ප්‍රජාව වෙත අවශෝෂණය වන අයුරින් ලොව කොහෙදීත් ගොඩනැගෙන්නේය. ඒ පිරිමින් හා කාන්තාවන් වෙන් වෙන් වශයෙන් තම ලිංගිකත්වයටත් විරුද්ධ ලිංගිකත්වයටත් දක්වන සංවේදනය, ගැහැනු/පිරිමි ලිංගික සුවිශේෂත්වයන්  හා විරුද්ධ ලිංගික ආකර්ෂණය යන දේ සක්‍රීය වන පරිද්දෙනි. ලිංගික නිදහස යන්නට තේරුමක් ලැබෙන්නේද මෙලෙස ගොඩනැගෙන සමාජ පසුබිමකට සාපේක්ෂවය. එහි වරදක් කිව නොහැක්කේ මානව සමාජයේ නිර්මාණයන් හ ගොඩනැගීම් සියල්ලකම අරටුව ලෙස ලිංගිකත්වයට සම්බන්ධ නිර්මාණයන් පිහිටන නිසයි. මානව ක්‍රියාකාරකම් සියල්ලකම පාහේ  සුලුවෙන් හෝ ලිංගිකත්වය හා එහි ස්වභාවය ගැබ්වී ඇත. උදාහරනයක් වශයෙන් බැලුවොත් පුරුෂයාට හා ස්ත්‍රියට වෙන් වෙන් වශයෙන් තම ලිංගිකත්වයේ ස්වභාවය හා එහි එකිනෙකාට ඇති සුවිශේෂත්වයන් නිරූපනය වන ක්‍රියාකාරකම් සියල්ල ලිංගිකත්වයේ ස්වභාවය හා විරුද්ධ ලිංගික ආකර්ෂණයද ඒ ආකාරයෙන් නිරූපනය කරයි.         

    
                        ගැහැනු හෝ වේවා පිරිමින් වේවා, සිය විරුද්ධ ලිංගිකයාගේ අවධානයට ලක්වීම හා ආකර්ෂණය දිනාගැනීම එකිනෙකාට නොරිස්සුම්සහගත දෙයක් වන්නට හේතුවක් නැත. එසේ වන්නේනම් ඒ ලිංගිකත්වයේ ස්වභාවික ගතිලක්ෂණයන් ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙමින් තමන් විසින්ම තමන්ව රවටාගන්නා ස්වභාවධර්මයේ දායාදයක් නොවන කුහකකමක ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුදු ඊට ස්වභාවධර්මය අභිබවා යෑමේ ඉඩක් නැතිවන්නේ ස්වභාවිකත්වය සමග එක්ව යන ලිංගික චර්‍යා පටිපාටියක් මිනිස් ප්‍රජාවේම යහ පැවැත්ම සඳහා සැමට පොදුවේ පිළිගැනීමට සිදුවීමේ හේතුවෙනි. ඇත්තෙන්ම ලිංගික සදාචාරය යන්නෙන් පිළිබිඹු වන්නේ එයයි. ඒතුලින් සිදුවන්නේ කිසියම් පොදු සම්මතයකට අනුව ලිංගිකත්වයේ ස්වභාවය අත්විඳීම වේ. එයින් ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය මිනිස් ප්‍රජාව වෙත ලබාගන්නට බාධාවක් නැත. එසේ බාධා වන්නේනම් ඒ මා පෙර කී කුහකකම් ලිංගික සදාචාරය තුලට රිංගීමෙනි. ඇත්තෙන්ම ලිංගික සුවිශේෂීතා හා ගැලපීම් වැඩිදියුණු වෙමින් ඉදිරියට යෑමට සදාචාරාත්මක රාමු බාධකයන් නොවේ. එමෙන්ම ඒ තුලින් ලිංගික නිදහස යන්න සීමා වීමක්ද ඇත්තෙන්ම සිදු නොවෙයි.
                    පවුල් සංස්ථාවේ බිහිවීම, ලිංගික ඇසුර ගෘහස්ථ මට්ටමට යෑම, මනුස්සයන් ඇඳුම් ඇඳීම යන දේ සම්බන්ධයෙන් යම් සංවාදශීලී බවක් ඇත. පවුල් සංස්ථාව තුල එක් අයෙකුට විරුද්ධ ලිංගික සහකරුවන් එක් කෙනෙකු පමණක් සීමා වීම තුල ඊට පෙර සමාජ තත්වය හා සංසන්දනාත්මකව බලන කළ නිදහස සීමා වීමක් දැකිය හැකි නමුදු එයින් සාහකරුවන් සහකාරියන් ලබාගැනීමේ තරගය අඩුවේ. පවුල යන සංකල්පය නොමැති සමාජයක් තුල වඩා ශක්තිමත් සටන්කාමී පිරිමින් සහකාරියන් එක් කෙනෙකුට වඩා තබාගැනීමත්, ස්ත්‍රීන්ද එවැනි පුද්ගලයන්ට පමණක් අවනත වීමත් සිදුවිය හැක. එවිට පිරිමි ජනගහනයෙන් සැලකියයුතු පිරිසකට සහකාරියක් සොයාගැනීම අපහසු වේ. ඒ අනුව එවැනි තත්වයක යම් අවාසියක්ද ඇති බැව් පැහැදිලිය. ලිංගික ඇසුර ගෘහස්ථ මට්ටමට සීමා වීම සම්බන්ධයෙන්ද විවිධ අදහස් දැක්විය හැක. එයද ඊට පෙර තත්වයට සාපේක්ෂව වඩා හොඳ වන්නේ ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීමට වඩා නිදහසේ ආශ්වාදය ලැබීමට හැකි තත්වයක් ගෘහස්ථ සීමාව තුල තිබීම යන කාරනය මත වේ. එහෙත් මෙය තවත් කෙනෙකුට එසේ නොවන්නටද පුලුවන. මේ අනුව එය පුද්ගලයන්ට අනුව හා වෙනස් ප්‍රජාවන්ගේ මානසික පරිනාම මට්ටම් වලට සාපේක්ෂ වේ. මානවයා සිය පරිනාම මාර්ගයේ ඇඳුම් ඇඳීමට හුරු වීම ගැනද මාතෘකාවට අදාලව කරුණු කීපයක් කිවහැක.
                                 මිනිසුන් විලිවසාගැනීමට ඇඳුම් ඇඳීමට හුරු වීමද නිදහස පරිනාමය වීම ගැන කතාකිරීමේදී වඩා සංවාදශීලී සාධකයකි. මෙහිදී විලිවසාගැනීම යන්නම ලිංගිකත්වය හා සම්බන්ධ වන්නක් බව පැහැදිලිව පෙනේ. ජීව විද්‍යානුකූලව හා මනෝවිද්‍යාත්මකව බලනකළ විලිවසාගැනීමක් අවශ්‍ය වන්නේ මානවයාගේ මනසේ සංකීර්ණ බව හා ඒ වටා සම්බන්ධ වන මානසික පරිණාමය අනුවයි. මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයේ හා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල යාන්ත්‍රණය වෙනත් සතුන්ගේ මෙන් හරියටම ප්‍රජනන සමය තුලම ක්‍රියාත්මක නොවේ. මානසික ආකර්ෂණය හා ඒ තුලින් සක්‍රීය වන ලිංගික පෙරැත්ත මත ස්ත්‍රිය හා පුරුෂයා ලිංගිකව එක්වීම සිදුවියහැක. එය ඕනෑම මොහොතකද වීමට පුලුවන. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව දැකීමෙන් පුරුෂ ලිංගික පෙරැත්ත ක්ෂණිකව සක්‍රීය වේ. ගැහැනු පිරිමි එකිනෙකාට සිය විරුද්ධ ලිංගික අවයව දැකීමේදී ඇතිවන කුහුල හා ලිංගික සක්‍රීය බව මෙන්ම ස්වකීය අවයවයන්ට සමාන අවයව දැකීමට තිබෙන අකමැත්තද මානවයන් සතු මනෝමය ස්වභාවයකි. ඒ අනුව මිනිසුන් සමූහ ලෙස ජනාවාස වීමේදී ලිංගික අන්තර් ක්‍රියාකාරකම්ද ප්‍රමිතියකට තිබීම වැදගත් වන බැවින් ජනන ඉන්ද්‍රියන් වසා ගැනීමේ අව්ශ්‍යතාවයක් ඇතිවේ. ඒ තුලින් නිදහස සීමා වීමක් වනවාද? ලිංගික අවයව පමණක් වසා ගැනීම සඳහා තිබූ ප්‍රමිතිය කාලයත් සමග සංකීර්ණ වස්ත්‍රාභරණ දක්වා පරිණාමය වී තිබෙන්නේ ඒ ඔස්සේද ස්ත්‍රී පුරුෂ භාවයත් ලිංගික පෙරැත්තත් මනා ලෙස නිරූපනය වන අයුරිනි. ඇඳුම යන්න ගැහැනු පිරිමි බව අනුව විශේෂනය වීම සැබවින්ම සම්බන්ධ වන්නේ ලිංගිකත්වයත් විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික පෙරැත්ත එකිනෙකට ගැලපීමත් සමගයි. ඒ තුලින් ලිංගික ක්‍රියාකාරකම් තවත් පුළුල් වනවා මෙන්ම වැඩි ලිංගික ආශ්වාදයක් ලැබීමට මනා පිටුවහලක්ද ලබාගත හැක. මිනිසුන් ඇඳුම් ඇඳීමට පෙර යුගවල සිටි පරම්පරාවට එම අත්දැකීම් නැති බැවින් එකලට සාපේක්ෂවනම් ඇඳුමක් ඇඳීම කරදරයක් හෝ නිදහස සීමා වීමක් විය හැක. නමුත් ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූලව එය තව තවත් ඔප්නංවාගැනීමට ඇඳුමෙන් අත්වන වාසිය ගැන සංවේදී තත්වයක් ඇති මෙකළ පරම්පරාවේ බහුතරයක් එලෙස නොසිතයි. මේ අනුව එහි තිබෙන සාපේක්ෂ බව ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. කෙසේ නමුදු ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් තවත් වැඩිදියුණු වීමට ඉවහල් වන ක්‍රියාකාරකම් වලට සමගාමීව ලිංගික නිදහස තේරුම් ගැනීම වඩා සාධාරණය. 

               කෙසේ හෝ වේවා ලිංගික ක්‍රියාකාරකම් හා සමාජ ගොඩනැගීම් සංකීර්ණ වෙත්ම මානව ඉතිහාසයේ පෙර යුගවල තිබූ සදාචාරාත්මක රාමු තව තවත් සංකීර්ණ වී තිබේ. ලිංගික සදාචාරය යන්න මනා ලිංගික ක්‍රියාකාරකම් පද්ධතියක් පවත්වාගැනීමේ පොදු එකඟතාවයක් හැටියට අත්‍යවශ්‍ය වන බව කාටත් විවුර්තව පිළිගතහැක්කකි. එයින් ලිංගික නිදහස සීමාවීමක් වන්නේනම් ඊට හේතු වන්නේ ලිංගික කුහකත්වයන් සදාචාරයට වැරදි ලෙස බද්ධ වීමය. මෙහිදී ප්‍රධාන වන්නේ ලිංගික සංසර්ගයේදී පිරිමි හා ස්ත්‍රී අවයව අතර සිදුවන අන්තර් ක්‍රියාකාරකම් දැකීමට ඇති ලැජ්ජාව සීමාව ඉක්මවා ගොස් ලිංගික සදාචාරය සමග වැරදියට බද්ධවී ඊට වැරදි වටිනාකමක්ද ලබාගනිමින් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටම දැඩිව පහර ගැසීමට මිනිස් මනසට අනුබල දීමයි. මෙයනම් හිතනවාට වඩා භයානක තත්වයකි. පුරුෂයෙකු හා ස්ත්‍රියක ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේදී ලිංගිකව හැසිරීම ගැන ගැටලු පැහැදිලිව ඇත. නමුත් එය එසේ වූ පමණින ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවන් සියල්ලට පහරදීම එවැනි හේතුවක් මුල්කරගෙන වුවත් කළ නොහැකිය. සැබෑ සදාචාරය ඉක්මවාගිය කුහකත්වයකින් මනස විකල් කරගත් සමහරුන්ට මේ කාලයේ තරුණයකු සිය පෙම්වතිය සමග අත්වැල් බැඳගෙන මහ මග ගමන් කරන දර්ශනයක් පෙනෙන්නේද ඔවුන් ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදීමක් ලෙසයි. ඒ ලිංගික කුහකත්වය විසින් සමාජය යොමුකරවන දිශාවයි. මෙවැනි කුහකත්වයන්ට බොරු වැදගත්කම් ආදේශ වූ කළ සිදුවනහරියනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. සැබෑ ලිංගික නිදහස සීමා වීමෙන්ද ඔබ්බට ගොස් බොරු ලිංගික නිදහසක් මානව සමාජයම රවටමින් ගොඩනැගෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. 
                                         සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන වඩා වැදගත් තොරතුරු රැසක් බටහිර ශිෂ්ඨාචාරය තුල ඇතිවූ වෙනස්කම් ඇසුරෙන් සොයාගත හැක. කාර්මික විප්ලවය සිදුවූ වකවානුව මුලදී කතෝලික පල්ලීයේ ආධිපත්‍යද  බිඳවැටෙන්නට පටන්ගත්තේ කාර්මීකරණය හරහා බටහිරට ධනය ගලාඒම තුලින් නිදහසේ සැපසම්පත් බුක්තිවිඳීමට කතෝලික සදාචාර පද්ධතිය බාධාවක් ලෙස බටහිර ජනයාම හඳුනාගැනීමත් සමගයි. එහිදී ලිංගික නිදහසද වැදගත් තැනක් ගනු ලැබීය. මෙ ගැන සංවාද ගොඩනැගුනු මුල් යුගයේ කතෝලික පල්ලියේ ලිංගික සදාචාරය ලිංගිකත්වයේ ස්වබාවික ගුණාංගයන් අත්විඳීමට බාධාවක් බවට මත පළ විය. එහිදී ලිංගික නිදහස යන්න ස්වභාවිකත්වයට සාපේක්ෂ ව හඳුනාගත් අතර ගැහැනු පිරිමි ලිංගික සබඳතා පවුලට සීමා නොවියයුතු බවටත් විවාහය තුලින් එක් සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික ජීවිතය සීමා කිරීම කරදරයක් බවටත් මතවාද ඉදිරිපත් විය.  නිදහසේ ඉඳුරන් පිනවීමට තැබෑරුම් සහිත සමාජ ශාලා බටහිර රටවල එලිදැක්කේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. සම්ප්‍රදායානුකූල කාන්තා ඇඳුම් වෙනුවට, පිරිමින්ගේ හැඟීම් වැඩිවශයෙන් උද්දීපනය කරන ඇඳුම් විලාසිතා කාන්තාවන් අතරද ජනප්‍රිය වන්නට විය. මුල් අවධියේ සදාචාර පද්ධතියද ලිංගික කුහකත්වයන්ට ගොනු කරමින් ප්‍රතික්ෂේප කළ නූතනවාදී මතදාරීන් කාන්තා නිදහස ගැන මතවාද ගොඩනැගීමට ගොස් සියල්ල අග මුල සොයාගත නොහැකි මට්ටමට පටලවගත්තෝය. එහිදී කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරමින් ඒ මත කටයුතු කිරීමේ නිදහසට වඩා ඉස්මතු වූයේ පිරිමින්ගේ ලිංගික කුහකත්වය මත කාන්තාවන් පුරුෂභාවය තුලට ගොනුකරමින් වෙනස් තෘප්තියක් ලැබීමටය. එහිදී කාන්තාවන්ට පිරිමින් අනුගමනය කරමින් ස්ත්‍රීභාවය මානසිකව අත්හැර පුරුෂභාවය තුලට යෑමේ නිදහස නූතන මතදාරීන් විසින් ඉස්මතු කරනු ලැබිණි. මෙහිදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග අත්විඳීමට බාධාවක් නොවූ මෙන්ම ස්වභාවයට එකඟවූ සදාචාරාත්මක සම්මතයන් පවා ලිංගික කුහකත්වය තුලට ගොනුකළ නූතන මතදාරීන් කාන්තාවන් සතු ස්වභාවික ස්ත්‍රීත්වය පුරුෂයාගේ ලිංගික ස්වභාවයට ගැලපිම කාන්තා නිදහසට බාධාවක් යැයි කීවේ කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් නොවියයුතුබවට මත පළකරමිනි. එහිදී ඔවුන්ගේ හිත යට තිබූ කුහකත්වය විසින් ඔවුන්ට අමතක කරවනු ලැබූවේ කාන්තාවන් යනු මිනිස් වර්ගයේ ගැහැනු සත්වයා බවත් ඇයටද ලිංගික ආශාව ස්වභාවයෙන් පිහිටන බැවින් පිරිමින් තමන් වෙත ආකර්ශනය කරගැනීමත් පිරිමි සහකරුවකු සමග ලිංගික ඇසුර පැවැත්වීමේ හා දරුවන් හදාගැනීමේ අවශ්‍යතාවය ඇයටද තිබෙන බවයි. මෙවැනි මුලාවන් පස්චාත් නූතනවාදය, මාක්ස්වාදය වැනි මතවාද හරහා කුහකත්වයේ අන්ධකාරය තුලටම බටහිර සමාජය දක්කාගෙන ගියේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය යනු කුමක්ද යන්න තෝරා බේරා වෙන්කරගැනීමට තරම් සංවේදනයක් නැති තරමට අනාගත පරපුරේ මනස විකල් කරමිනි.

                             දැන් බටහිර සමාජය තුල දක්නට ලැබෙන්නේ ඉහත සඳහන් කළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයි. ඇත්තෙන්ම ලිංගික නිදහස ගැන කතා කිරීමට හෝ ලිංගිකත්වය යනු කුමක්දැයි මෙලොව එලිදකින කවරෙකු වුවත් තේරුම් ගන්නේ පවුල් පරිසරය තුලයි. ඒ මවුපියන්ගේ ලිංගික සුවිශේෂීතා දරුවන් සංවේදීව හඳුනා ගැනීමත් පිරිමි දරුවන් පවුලේ පියා අනුගමනය කිරීම හා ගැහැනු දරුවන් මව අනුගමනය කිරීමත් තුලිනි. මවුපියන් විසින් දරුවන්ට තම ලිංගික සුවිශේෂීතාවයන් වෙන වෙනම ලබාදීම සැබෑ ගුණධර්මයක් වන අතර එය සැබෑ ලිංගික නිදහස එහි ස්වභාවික යහගුණයද සමගින් ආරක්ෂා කරයි. නමුත් කාන්තා නිදහස යන සංකල්පය බටහිර ඉදිරියට ගියේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් සියල්ල කාන්තාවන්ගේ නිදහසට බාධකයන් ලෙස හුවා දක්වමිනි. එහිදී එම මතවාද කරපින්නාගත්තවුන් කාන්තා නිදහස යන්න පෙන්වාදුන්නේ කාන්තාවන්ට පුරුෂයා කරන සියලු කාර්‍යයන් කරමින් පුරුෂයා හා සම තත්වයට පත්වීමට ඇති නිදහස ලෙසයි. එහිදී ඔවුන් කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයත් පිරිමින් ඊට ස්වභාවයෙන් දක්වන ආකර්ෂණයත් හෙලා දැක්කේ ඒ ඇසුරෙන් සමාජයේ ගොඩනැගී තිබුනු සියලු දේ කාන්තාවන්ගේ සමාජ ප්‍රගමනය සීමා කරන බවට චෝදනා කරමිනි. මුලින්ම මේ පිරිස බටහිර පවුල් සංස්ථාව විනාශ කළෝය. ඒ පවුල තුල කාන්තාව පුරුෂයාගේ වහලියක් වන බව කියමිනි. මාතෲත්වයද දැඩි ලෙස හෙලා දැක්ක ඔවුන් කියා සිටියේ කාන්තාවන් සිටින්නේ පුරුෂයාගේ දරුවන් වැදීමට නොවන බවයි. 
                              මේ කටයුතු වලින්ද නොනැවතුනු නූතන මතදාරීන් කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන ස්ත්‍රී ලිංගිකත්වය හා ඒ වටා ගොඩනැගෙන ලාක්ෂණිකත්වයන් සියල්ල බාල්දු කළේ පිරිමින් මෙන් හැසිරුනු කාන්තා චරිත වලට වීරත්වය ආරූඪ කරමිනි. එවැනි කාන්තාවන්ට ව්‍යාජ ගරුත්වයක්ද ඔවුන් ලබාදුන්නේ තම ලිංගික ආශාවන් සංතර්පනය කරගැනීමට ස්වභාවික ස්ත්‍රීත්වය හා එහි ලාක්ෂණිකත්වයන්ගෙන් හෙබි කාන්තාවන් ඔවුන්ගේ වචන පරිසමාප්ත අර්ථයෙන්ම කාම වස්තු ලෙස පරිහරනය කරමිනි. මේ ලිංගිකත්වයේ සැබෑ යහගුණයන් සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම කුහකත්වයන්ට ගොනු කරමින් ඔවුන්ගේ යටි සිතේ වූ කුහකත්වය තුල ඔවුන්ම මානසික අන්ධයන් වූ ආකාරයයි.  ඔවුන් විසින් කාන්තාවන් මානෝවිද්‍යාත්මකව පුරුෂභාවය තුලට ගොනු කරමින් ස්ත්‍රී ලිංගිකත්වයේ ගුණාංග වලට හා විරුද්ධ ලිංගික ආකර්ෂනයට බැට දෙමින් මිනිස් ලිංගිකත්වයේ මනෝ විකුර්ති ස්වරූපය වූ සමලිංගිකත්වය හා ඒවටා ඇති සමාජමය සාධක තවදුරටත් පෝෂණය කරනු ලැබීය. එසේ කරනු ලැබුවේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් අත්විඳීමට බාධාවන් නොවූ මෙන්ම එම ගුණාංග ජීවිතවලට අවශෝෂනය කරගැනීමද පහසු කළ සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගික ස්වභාවයන්ට සංවේදී වර්ග කිරීම් ව්‍යාජ ලෙස කුහකත්වයන්ට ගලපමිනි. එහි අනෙක් අත වූයේ ඔවුන්ගේ මනසේ පැලපදියම්ව තිබූ ලිංගිකත්වයේ ස්වභාවයට බැට දීමේ සැබෑ කුහකත්වය මත බොරු ආචාරධර්ම ගොඩනැගීමයි. මෙලෙස ගොඩනැගූ එක ප්‍රභල ව්‍යාජනයක් වූයේ පුරුෂයා විසින් තම ලිංගික ස්වභාවයට ගැලපෙන ස්ත්‍රී ලිංගිකත්වය වැදගත් දෙයක් ලෙස සැලකීම හෙලාදකිමින් ඊට එරෙහිව සටන්කළ, පිරිමි ලිංගිකත්වයට ගරහන ගමන්  පිරිමි අනුකරනයද කළ කාන්තාවන්ට සමාජය තුල ගෞරවයක් අත්කර දීමයි. ඔවුන් මේටික කිරීමේදී ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ සැබෑ සදාචාරාත්මක සංකල්ප අයතා ලෙස පරිහරනය කර තිබෙන බවද පැහැදිලිය. විවාහයෙන් පිට ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා අනුමත නොකරන සදාචාරාත්මක රාමු අයතා ලෙස පරිහරනය කර සමලිංගිකත්වයට බුරුලක් ලබාදීමට ඔවුන් සැදී පැහැදී සිටියේ ඒ නිසයි. කාර්මික විප්ලවය සිදු වූ මුල් අවධිය තුල ලිංගිකත්වයේ ස්වභාවයට සාපේක්ෂව විවුර්ත ලෙස මිනිසුන් දුටු ලිංගික නිදහස මේ ආකාරයට පස්චාත් නූතනවාදය, කාන්තා විමුක්තිය, ලිබෙරල් වාදය හරහා බොරු ලිංගික නිදහසක් දක්වා වර්ධනය වූයේ පෙරකී බොරු ආචාරධර්ම වල සහයද ඇතුවයි.
                    
  ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග අත්විඳීමටත් සැබෑ ලිංගික නිදහසටත් බාධාවක් නොවූ සැබෑ සාරධර්මයන් යටපත් කරමින් සැබෑම කුහකත්වයන් පසුබිම් කරගෙන කාන්තා නිදහස, පස්චාත් නූතනවාදය ආදී මතවාදයන් හරහා ගොඩනැගුනු බොරු ආචාරධර්මයන් බටහිර වර්තමාන පරපුරේම සිහිය විකල්කර ඇත. එය කොතෙක් දුරගොස් ඇත්දැයි කිවහොත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණය වන විරුද්ධ ලිංගික ආකර්ෂනය හා විෂම ලිංගිකත්වය හෙලාදකිමින් පුරුෂ ලිංගිකත්වයම ආරෝපනය කරගෙන පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ගේ නිදහස උදෙසා සමලිංගිකත්වයත් එහි පරිවාර සමාජ තත්වයනුත් පෝෂණය කිරීමේ බොරු ලිංගික නිදහසක් දැන් බටහිර දක්නට තිබේ. කාන්තාව යනු පුරුෂයාගේ කාම වස්තුවක් නොවන බවටත් කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වැදීමට නොවන බවටත් මතවාද පැනනැගුණේ බටහිරින්මය. මේ තිල ගැබ්වී ඇත්තේ පැහැදිලිව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හෙලාදැකීමකි. මේ මතවාද කරපින්නාගත්තවුන් සමලිංගිකත්වය හරහා කාන්තාවන් විකුර්ති කාමුකත්වයේ කාම වස්තු බවට පත්වීම ගැන කතා නොකිරීමට වගබලාගත්තෝය. එලෙසම ඔවුහු පුරුෂ සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනීසිටියහ. විෂමලිංගික විවාහය තුල කාන්තාව පුරුෂයාගේ වහලියක් වන බව කියමින් මේ පිරිස සමලිංගික විවාහ ස්ථාපිත කිරීමද කළෝය. දරුවන් සම්බන්ධ අයිතිය කාන්තාවන්ට පමණක් පවරමින් පියා නොමැති පවුල් ඇතිකරන අතරතුරම සමලිංගිකයන්ට පවුල්කමින් දරුවන් දරුකමට හදාගැනීමේ අයිතිය පැවරීමටද මේ නූතන මතධාරීන් කටයුතු කළේ තවත් සමලිංගිකයින් ඒ සමලිංගික පවුල් තුලින් මනෝ විකුර්තිතාවයන් හරහා හදාගැනීමට හැකි බව හොඳින්ම දැනගෙනයි. පිරිමින්ගේ ලිංගික ආශාවන් සමග ගැලපෙන ඇඳුම් විලාසිතා කිරීම ඇතුලු කාන්තා ක්‍රියාකාරකම් පසුබස්සමින් පිරිමි ලිංගික හැඟීම් වලට අනුකූල නොවන පිළිකුල්සහගත දේ කිරීමට කාන්තා විමුක්තිය හරහා කාන්තාවන්ට දිරිදීමටද නූතන මතධාරීහු අමතක නොකළහ. එසේ පිළිකුල් සහගත දේ කිරීම කාන්තා අයිතියක් හා කාන්තාවන්ට තිබියයුතු නිදහසක් ලෙස ඔවුන් දුටුවේ තම යටිහිතේ තිබූ කුහක ගතියට සමගාමීවයි. මෙවැනි කුහකයන් තම ලිංගික සිතැඟි ඉටුකරගැනීමට ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි රූබර කාන්තාවන් සොයාගන්නේ තමන් සමාජයට පෙන්වන වෙස්මූන ගැන කිසිදු හිරිකිතකින් තොරව බව ඔවුන්ගේ හැටි දන්නා කවුරුත් හොඳින්ම දනිති. වර්තමානයේ බටහිර රජ කරන බොරු ලිංගික නිදහසේ තරම පෙන්වාදීමට මීට වඩා සාක්ෂි අවශ්‍යද?

                          ලිංගික නිදහස තිබෙන්නේ යැයි කියන බොහෝ බටහිර රටවල අද තිබෙන්නේ පීතෲමූලිකත්වයට හා විෂම ලිංගිකත්වයට එරෙහි ද්වේශසහගත බවකි. එය සැබෑ ලිංගික නිදහසක් නොවේ. ලිංගික නිදහසක් ඇතැයි කියන මේ රටවල විවාහ නීති හා දික්කසාද නීති තනිකර පුරුෂ විරෝධී මුහුණුවරක් ගෙන ඇත. බොහෝ රටවල දික්කසාද වලදී පිරිමින්ගේ දේපල වලින්ද වැඩි කොටසක් කාන්තාවන්ට හිමිවන ලෙස හා අසාධාරන ලෙස පුරුෂයාට දික්කසාද වන්දි ගෙවීමට සිදුවන ආකාරයට නීති හදා ඇත. දරුවන්ගේ අයිතිය මවට පමණක් හිමිකර දීමද සිදුවෙයි. තවත් එක් වෛරී නීතියක් වන්නේ බිරිඳ දූෂණය කිරීමේ වරද හැටියට හඳුන්වන නීතියයි. මෙය ස්වීඩනය වැනි රටවල ක්‍රියාත්මක වේ. එහිදී විවාහක බිරිඳ අකමැති අවස්ථාවක සැමියා යම් ලිංගික කටයුත්තක නියැලීමට උත්සහ කළොත් අදාල කාන්තාවට නඩු පැවරිය හැක. එලෙසම බිරිඳගේ කැමැත්ත ඇතිව පමණක් උපත්පාලන කොපු භාවිතා නොකර ලිංගික සංසර්ගයේ යෙදියයුතු වන අතර එසේ නොවුවහොත් ඒ සඳහාද බිරිඳට නඩු දමා සැමියා බන්ධනාගාරගත කළ හැක. ලිංගික අතවර නීති ක්‍රියාත්මක වීමේදීද පුරුෂ විරෝධී මෙන්ම විෂම ලිංගික විරෝධී ලෙස ඒවා ක්‍රියාත්මක වේ. සමලිංගිකත්වයට අදාල කාම අපචාර හා ළමා අපචාර වලට දෙන දඬුවම් ලිහිල් වන අතර බොහෝ විට වැරදිකරුවන් නීතියෙන් ගලවාගැනීමට නීති බලධාරීන්ම අප්‍රසිද්ධියේ කටයුතු කරති. ඒ රටවල පිරිමින්ට පැහැදිලි ලිංගික පීඩනයක් තිබේ. ගණිකා වුර්තිය එම රටවල නීතියෙන් පිළිගෙන තිබෙන්නේද ඒ නිසයි. ඒ විෂමලිංගික පිරිමි පාර්ශවය අසාධාරන නීති හේතුවෙන් නීත්‍යානුකූල විවාහ ජීවිත ගතකිරීමට පසුබාන බැවින්ය. විවාහ නොවී ඒකාබද්ධ ලිංගික ජීවිත ගෙනයෑම පිළිගෙන ඇත්තේද ඒ නිසයි. නමුත් ගණිකා වුර්තිය නීතිගතව තිබීම හා විවාහ නොවී ලිංගික ජීවිත ගෙනයෑම පිළිගෙන තිබීම දෙස බලා එම රටවල ලිංගික නිදහස තක්සේරු කිරීමට අපේ රටේ ඇතමුන් ඉක්මන් වන ආකාරයක් අප් දැක ඇත. එම රටවල පිරිමින්ගෙන් සැලකියයුතු පිරිසක් වෙනත් රටවල කාන්තාවන් විවාහ කරගෙන ඇත. එමෙන්ම බොහෝ පිරිමින් ලිංගික උවමනා එපාකම් සපුරාගැනීම සඳහාම ආසියාතික රටවල සංචාරය කරති. බටහිර වැඩිහිටියන්ට පමණක් සීමා වන වෙබ් අඩවි වල තිබෙන වර්ගීකරනයන් දෙස බැලීමේදී පෙනෙන්නේද විකුර්ති කාමුකත්වය බටහිරදී ජීව විද්‍යාවද අවියක් කරගෙන වැඩී ඇති අයුරුයි. එසේ වූයේද මෙහි මින් පෙර පෙන්වාදුන් නූතන කුහකත්වයේ බොරු ලිංගික නිදහස කරලියට පැමිණීම සමගය. 

                                 සැබෑ ලිංගික නිදහස, ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ සම්මුතීන් හා ආචාරධර්ම බොරු ලිංගික නිදහසක් හා බොරු ආචාර්ධර්ම බවට පත්වන්නට තිබෙන ඉඩකඩ හා ඊට බලපාන සාධක ගැනත් යමක් කතා කිරීම වැදගත් වේ. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ වන දිවිපැවැත්මක් ගෙනයෑමට ලිංගික සදාචාරයක් අවශ්‍ය බව ඇත්තකි එය සැබෑ ලිංගික නිදහස නැති නොකරන බවද සත්‍ය වේ. නමුත් සදාචාරාත්මක රාමූ අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගත් විට හා ඒ මත දැඩිව එල්බගනිමින් සදාචාර උමතුවක් කරා ගියකළ එයින් ඇතිවන විකල් මානසිකත්වයම බොරු සදාචාරයකට මගපාදයි. මේ බොරු සදාචාරය මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයන් පෝෂණය කරමින් අවසානයේ එහිද සීමා මායිම් ඉක්මවා ගොස් බොරු ලිංගික නිදහසක් දක්වා දුරදිග යන බවද පැහැදිලිය. සදාචාරය මත දැඩිව එල්බගෙන විවාහයට පෙර විරුද්ධ ලිංගික ඇසුරට දැඩිව වැට බඳිමින් සමලිංගිකත්වයට බුරුලදීම, කාන්තාවන්ට වන ලිංගික අතවර අර්ථකථනයන් මත දැඩිව එල්බගෙන කාන්තාවන් අතරද අතවර භීතිකාව දැඩි ලෙස වර්ධනය කරමින් අතවර මැඩලීමට ලිංගිකත්වයේ ස්වභාවයම ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ මෙහිදී කැපී පෙනේ. මෙවැනි ව්‍යාජනයන් විසින් සමාජයම සිහි විකල් කිරීමට පෙර බටහිරට අද සිද්ධවී ඇති දේවල් තේරුම්ගනිමින් දැන්සිට විචාරබුද්ධියෙන් සන්නද්ධ වීම අපේ අඟට ගුණය.
                         

Sunday, April 13, 2014

සිංහල අළුත් අවුරුදු සුබපැතුම්


                ඔන්න ඉතින් අපේ බ්ලොග් හිතවතුන් ඇතුලු අන්තර්ජාලයේ සියලුම බ්ලොග් පාඨකයන්ට ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය පිරි සුබම අළුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපට මේ අවුරුද්දේත් සංවාදශීලිව අළුත් අදහස් එක්ක අපේ බ්ලොග් කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.



Saturday, April 5, 2014

අමුඩය ගැන යමක්



මීට ටික කළකට පෙර අමුඩය ගසාගෙන මිනිසුන් කුඹුරු වැඩ කරන දර්ශනය ලංකාවේ සාමාන්‍ය දෙයක් විය. එහෙත දැන් එම දර්ශනය සුලබව දක්නට ලැබෙන්නේ තරමක් පිටිසරබද ප්‍රදේශ වල පමණය. නාගරික සමාජයේ මේ දර්ශනය දක්නට ඇත්තේම නැත. නාගරික පිරිස අතර වර්තමාන පරපුර ඇතැම් විට අමුඩය ගැන දන්නේද නැතිවීමට ඉඩ ඇත. මේ කියන්නට යන්නේ අමුඩය ගැන සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු නොදන්නා කරුනු ටිකකි.
                             අමුඩය යන්න අපේ රටේ පිරිමි පාර්ශවයට සුවිශේෂ සම්ප්‍රදායානුකූල ඇඳුමක් හැටියට අප හඳුනාගෙන ඇතත් වෙනත් රටවල වෙනස් සමාජ පසුබිම්වලද පිරිමි පාර්ශවය අමුඩයට සමාන ඇඳුම් අඳිති. ඒ පොදුවේ ගත්කළ ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල පිරිමි පාර්ශවය වැඩිපුර ශක්තිය වැයකරමින් මහන්සියෙන් යම් යම් කාර්‍යයන් කරන බැවිනි. එහිදී අමුඩය ඊට වඩා යෝග්‍ය ඇඳුමක් වූවාට කිසිම සැකයක් නැත.
                              අමුඩය වටා ගොඩනැගුන සිරිත් වැනි දේද නැතුවා නොවේ. ඉන් එක් සුවිශේෂී දෙයක් පැරනි උඩරට සමාජයේ තිබූ එකගෙයිකෑම නම් විශේෂ සිද්ධියත් සමග බැඳී ඇත. එහිදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු එක් කාන්තාවක් විවාහ කරගැනීම සිදුවේ. එබැවින් සහෝදරයන් දෙදෙනා විටින් විට මාරුවෙන් මාරුවට එකම සහකාරිය සමග ලිංගික ස්බඳතාවය පවත්වයි. එහිදී එක් අයෙකු සහකාරිය සමග සංවාසයේ යෙදෙන බව අනෙක් කෙනාට ඇඟවීම සඳහා අමුඩය කාමරයේ දොරට උඩින් දමා එලියට පෙනෙන්නට සලස්වයි. එය එකළ එම සිරිත පැවති සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු බවද පැහැදිලිය.

  
     මේ දේවල් හැරුණු විට අමුඩය වටා බැඳුනු පිරිමි ලිංගික ක්‍රියාකාරිත්වයට වැදගත් ජීව විද්‍යාත්මක කරුණක්ද වෙයි. අමුඩය යනු පිරිමින්ගේ වෘෂණ පහත් නොවන ලෙස තබාගන්නා ආධාරක යට ඇඳුමකි. එයට යොදාගන්නා රෙදි කැබැල්ල අමුඩ ලේන්සුව ලෙස හඳුන්වයි. අමුඩ ලේන්සුවේ වැදගත් ලක්ෂණය වන්නේ එය සියුම් දැලක් බඳු වූ නූල් ගෙතුම් අතර තරමක් ලොකු හිඩැස් සහිත රෙද්දක් වීම වේ. එය ඇඳගෙන වැඩපල කරනවිට දහඩිය උරාගැනීම හොඳින් සිදුවනවා මෙන්ම පරිසරයේ ස්වභාවික හුලං වැදීමකින් වෘෂණ වලට මනා සිසිලනයක් ලැබෙන්නේ දහඩිය වාශ්ප වීමත් සමගයි. එලෙසම අමුඩය පිටින් දියට බැස්ස කළද වෘෂණ වලට හොඳින් සිසිලනය ලැබෙන්නේ එහි සියුම් දැල් ස්වභාවය නිසාය. ඇත්තෙන්ම වෘෂණ වලට සිසිලනය ලැබීමේ වැදගත්කම කුමක්ද? මිනිසා ක්ෂීරපායී සත්වයෙකි. සාමාන්‍ය වශයෙන් ක්ෂීරපායි සතුන්ගේ ශරීර උෂ්ණත්වය තරමක් ඉහලය එමෙන්ම උෂ්ණත්වය නියත මට්ටමක පවත්වාගැනීමද සිදුවේ. මේ උෂ්ණත්ව මට්ටම පුරුෂ ප්‍රජනක සෛල හෙවත් ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලියට ඒ තරම් සුදුසු නැත. සාමාන්‍යයෙන් ක්ෂීරපායි පිරිමි සතුන්ගේ වෘෂණ ශරීරයෙන් පිටත කෝෂ වල පිහිටන්නේ ඒ නිසයි. වෘෂණ වලට මනා සිසිලනයක් ලැබීම යනු ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවීමට යම් රුකුලක් ලැබීමයි. එකළ සමාජයේ පිරිමින් ධාතු ශක්තිය අතින් ඉහල මට්ටමක වූ බව නොරහසකි. එනම් ඔවුන් ප්‍රජනන ශක්තිය අතින් වර්තමාන මිනිසුන්ට සාපේක්ෂව ඉහල වූ බව පෙනේ. එකල පිරිමින් අතර ලිංගික නිසරුබව සාපේක්ෂව බෙහෙවින් අඩුවන්නට ඇත.
                       

    මෙයට ටික කළකට ඉහතදී පවා අමුඩය ගසාගෙන වැඩකිරීම සමාජයේ ලැජ්ජාවට කරුණක් වී තිබුණේ නැත. එමෙන්ම එවැනි දර්ශනයක් සමාජයට අප්‍රසන්න දෙයක්ද නොවීය. මේ අනුව බලන කළ අමුඩය යනු යම් සුවිශේෂී බවක් සහිත ඇඳුමක් මිස එය උපහාසයට ලක්කළයුතු දෙයක් නොවන බවනම් කිවහැක.

Saturday, March 22, 2014

පොඩි තාක්ෂණික දෝශයක් ගැන ලිපියක්

ඔන්න යාලුවනේ මේ පෝස්ට් එකනම් අපේ හුරුපුරුදු මාතෘකා සම්බන්ධ එකක් නෙවෙයි. ඒක් මේ ලඟදි ඉඳලා මට බ්ලොග් එක භාවිතයේදී ඇතිවන යම් තාක්ෂණික දෝශයක් සම්බන්ධවයි. මේ ලිපිය පලකරන්න හිතුවේ අපේ අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන්ටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා දැනගන්නයි. 

ප්‍රශ්නය මේකයි. මම පුරුදු විදිහටම ඔයාලගේ බ්ලොග් කියවන අතරතුරේ බ්ලොග් කීපයකට සම්බන්ධ වෙන්න උත්සහ කළා "Follow  " ගැජට් එක හරහා. නමුත් ටික දවසක ඉඳලා දිගටම පහත සඳහන් " Error message " එක එනවා මේ විදිහට "Follow " කරන්න ගියහම.

\\    We're sorry...

We were unable to handle your request. Please try again or return a bit later.  \\


මමනම් හිතන්නේ මේක "Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න පුලුවන් කියලා. ඒත් ඒක සැකහැර දැනගන්නයි ඔයාලගෙන් අහන්න හිතුවේ ඔයාලටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා. එහෙම මේ ප්‍රශ්නයම ඔයාලටත් තියෙනවානම් මේක " Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේක මගේ බ්ලොග් එකේ විතරක් තියෙන එකක්නම් මගේ බ්ලොග් එකේ තාක්ෂණික දෝශයක් වෙන්න පුලුවන් කියලයි හිතෙන්නේ. ඔයාලටත් මෙහෙම ප්‍රශ්නයක් ලඟකදි ඉඳලා තියෙනවානම් මෙ ලිපියට කමෙන්ට් එකක් දාන්න.

ස්තුතියි.

Tuesday, March 18, 2014

ස්ත්‍රී ලිංගිකත්වය පැහැදිලිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට පිරිමින් අපහාස කළයුතුද?


පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධි ඇසුරෙන් ලිංගික කුහකත්වය ගැන උද්වේගකර ලෙස කරුනු ඉදිරිපත් කළෙමි. බොහෝ කරුණු ලිපි වලට එක් කළේ ඇතැම් විට සිතට ආ කේන්තියද යටපත් කරගනිමින්ය. මෙවරත් කතා කිරීමට යන්නේ කිසිවෙක් කිසිවිට කතා කිරීමට ඉදිරිපත් නොවන මෙන්ම එසේ ඉදිරිපත් වුවත් විවුර්තව කරුණු කීමට පැකිලෙන මාතෘකාවක් සම්බන්ධයෙනි.
                    මේ ලෝකයේ ගැහැනු හා පිරිමි ලෙස ලිංග දෙකක් ජීවී සංහතියටම ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඇයි? එයිනුත් ගැහැනු සත්වයෙක් හා පිරිමි සත්වයෙකු ලෙස ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව ලෝකය තුල එකිනෙකාගේ ලිංගිකත්වයට ආවේනික විශේෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ ඇයි? එයින්ද ඉහල බුද්ධියක් හා සංකීර්ණ මනෝභාවයක් ඇති මිනිස් වර්ගයා තුල ගැහැනු පිරිමි ලිංගික අනන්‍යතාවයන් ශාරීරිකව පමණක් නොව මානසිකවද දෙබින්න වී කැපී පෙනෙන්නේ ඇයි? මේ සියල්ල ස්වභාවධර්මයෙන් ඉදිරියට වර්ධනය කරනුලැබූ ප්‍රභල ලක්ෂණ වේ. ලිංගිකත්වය යන්න ප්‍රජනන අවශ්‍යතාවය සඳහාම ස්වභාවධර්මයෙන් ජීවී සංහතියට දායාද වන්නකි. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. ගැහැනු හා පිරිමි වශයෙන් ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව කාණ්ඩ වල ප්‍රජනනයේදී පුරුෂ හා ස්ත්‍රී බීජ සෛල එක්වීමටනම් සතුන් දෙදෙනා ලිංගිකව එක්වියයුතුය. ඒ ලිංගික සංසර්ගය තුලිනි. ඒ ක්‍රියාවලිය ක්‍රමවත්ව ගෙනයෑමට ස්වභාවධර්මයෙන්ම යෙදෙන උපක්‍රමය වන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති කිරීමයි. ඇත්තෙන්ම ගැහැනු හා පිරිමි ජීවීන් තුල සත්ව ලෝකයේ දක්නට ඇති විශේෂිත ලක්ෂණ පිහිටන්නේ මේ ක්‍රියාවලිය ඉලක්ක කරගෙනයි. මිනිස් සංහතිය ගැන කතා කිරීමේදී සංකීර්ණ මනෝභවයන්ද ඇතුලුව ඒ හරහා ගොඩනැගෙන විරුද්ධ ලිංගික ආකර්ෂණය අරුමයක්ද? එය එසේ වන්නේද ගැහැනු හා පිරිමි වශයෙන් ලිංගික සංසර්ගය හරහා දෙපාර්ශවය එක් කිරීමටත් ප්‍රජනන ක්‍රියාවලියටත් අවශ්‍ය යාන්ත්‍රනය ලෙසයි.


                                දැන් එම ආකෘතිය අනුව මිනිස් ප්‍රජාවේ සමාජ සංස්කෘතික ගොඩනැගීම් සලකා බලමු. ඕනෑම ජන සමාජයක් තුල මානව ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ ලෙස දෙභින්න වී ලිංගික විශේෂනයන් අනුව වර්ගීකරනයකට ලක් වීම සිදුවන්නේ ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාගේ ලිංගිකත්වය වෙන් වෙන්ව කේන්ද්‍රීය වන ලෙසයි. ඒ තුල විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික ක්‍රියාවලියත් ප්‍රජනනයත් ගැබ්වී තිබේ. කිසිවෙකුටත් එය එසේ නොවේ යැයි කිව නොහැක. ගැහැනු හෝ පිරිමි කවරෙකු හෝ වේවා විරුද්ධ ලිංගිකයන් හඳුනාගන්නා සුවිශේෂී ස්වභාවයක් ඕනෑම සමාජ පරිසරයක් තුල දක්නට ඇත. ගැහැනු හෝ පිරිමි කවරෙක් වුවත් සිය විරුද්ධ ලිංගිකයා හඳුනාගන්නේ තම ලිංගිකත්වය තුල දක්නට නැති ප්‍රති විරුද්ධ ලිංගිකත්වයට ආවේනික ශාරීරික හා මානසික ස්වභාවයන් ඇසුරෙනි. එහිදී එකිනෙකාට තම විරුද්ධ ලිංගිකත්වය ප්‍රසන්න දෙයක් වන ආකාරයට මිනිස් සමාජ ගොඩනැගීම සැකසී තිබීම සාමන්‍ය දෙයකි. මා කලින් ලිපි වලද පෙන්වාදුන් ලිංගික කුහකත්වය සමාජයක වැරදි වටිනාකමක් ලබාගෙන ඔඩුගියකල මේ කිසිවක් විවුර්ත භාවයකින් යුතුව පිළිගැනීමට මැලිකමක් ඒ සමාජය තුලින්ම ජනනය වේ. පුරුෂ ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ ස්වරූපය වන ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව නිරූපනය කරන කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයන් මුල්කරගෙන ගැරහීමට හා අපහාසයට ලක්වීමද මෙහි එක් ප්‍රතිඵලයකි.
                                කුහකකම් පැත්තක තබා විවුර්ත භාවයකින් යුතුව මේ සමාජ තත්වය දෙස අප බලන්නේනම් එයින් අප කොපමණ මුලාවකට ඇදවැටෙන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය, ඇය තවත් පුරුෂයෙකු නොවේ. කාන්තාවන් ඕනෑම මානව ජන සමූහයක් තුල ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කළයුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගයයි. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඔවුන්ගේ පැවැත්ම ස්ත්‍රීන් හැටියට ගොඩනගා ගැනීමටයි. එහිදී ඔවුන් තම විරුද්ධ ලිංගිකත්වය වන පුරුෂ ලිංගිකත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්කර හඳුනාගතයුතු වනවා මෙන්ම පුරුෂ ලිංගිකත්වයට සමාඅන්තරව ස්ත්‍රී අන්න්‍යතාවයක් ගොඩනගා ගතයුතුවේ. එමෙන්ම පුරුෂයාට ලිංගික වශයෙන් ප්‍රසන්න වීමත් පිරිමින් ලිංගිකව ආකර්ෂණය කර ගැනීමත් කාන්තාවන්ගේ ජීවිතයේ ප්‍රමුඛ අංග වේ. ඔවුන්ටද පිරිමින්ට මෙන්ම ලිංගික ආශ්වාදය හා තෘප්තිය අවශ්‍යය දරුවන් හැදීමේ අවශ්‍යතාවයද කාන්තාවන්ටත් ස්වභාවයෙන් පිහිටයි. පිරිමි සහකරුවකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම ස්වභාවික හැඟීම් දැනීම් අවශ්‍යතා ඇති කාන්තාවන් කාගේත් ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නේ මෙලෙසිනි. මේ කරුනු කාරනා කෙලින් පිළිගන්නවාට වඩා කුහකත්වයේ මානසික ලෙඩින් පෙළෙන්නන් කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගික ස්වභාවයටම ගැරහීම මහා ලොකු හපන්කමක් යැයි සිතති. 
         
                             සම්ප්‍රදායික කුහක සුදනන් සිරිතක් ලෙස කාන්තා ඇඳුම් විලාසිතා වලට බැනවදිමින් මෝඩ තෘප්තියක් ලබන ආකාරය අප දැක ඇත්තෙමු. ඇතමෙකු කොට ගවුම අල්ලාගෙන එයින් කකුල් පෙන්වන කාන්තාවන් සමාජයේදී ඔවුන් අපහාසුතාවයන්ට පත්කරවන බවට අඩපාලි කියන්නේ යටි හිතෙන් ඊට කැමැත්තක්ද දක්වමිනි. කාන්තාවන් හෝ ගැහැනු ළමුන් කොටට ඇඳීම ඔවුන්ට ගැටලුවක් උනත් ඔවුන් එසේ කරන්නේ අහේතුවකට නොවේ. එයට කැමති පිරිමින් කොටසක්ද සමාජයේම ඇත. එයට බැනවදින පිරිසද එයින් තමන්ට ප්‍රසන්න හැඟීමක් ඇතිකරන බව හිත යටින් දනිති. පුරුෂයා ලිංගික වශයෙන් ආකර්ෂනය කරගන්නා පිරිමින්ට ලිංගික වශයෙන් ප්‍රසන්න හැඟීම් දැනීම් ඇතිකරවන දේ කිරීමට කාන්තාවන් ස්වභාවයෙන් කැමැත්තක් දක්වති. එය එසේ නොවන්නේනම් ඔවුන් මිනිස් වර්ගයට අයත් ගැහැනු මිනිස් ජීවීන්ද නොවෙති. තම ලිංගික ස්වභාවයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ඒ සමග එකට ජීවත් වීමට කාන්තාවන්ගෙන් වැඩි පිරිසකට තිබෙන හැකියාව පිරිමින් විසින් අගය කළයුත්තක් විනා ගැරහීමට ලක්කළයුත්තක් නොවේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන කුහක මෝඩයන් ඔවුන්ගේ බොරු ලැජ්ජාව මහා ලොකු වටිනා දෙයක් යැයි සිතීම සියල්ලට වඩා හෙනයකි. ඔවුන් කාන්තාවන්ටද තම ස්ත්‍රී ස්වභාවයන්ට පිටුපාමින් ස්ත්‍රී විශේෂනයන් නැතිකරගෙන මානසිකව පුරුෂභාවය තුලට යෑමට අනුබල දෙන්නේ එසේ කිරීමෙන් කාන්තාවන්ට වීර චරිත වීමට හැකිවන බවක්ද අඟවමිනි.  කුහකත්වයන් වැඩි සමාජ වල මෙවැනි කුහක පිරිමින් ප්‍රභූත්වයක් හා ව්‍යාජ ප්‍රබුද්ධකමක් ඈඳාගැනීම ඉමහත් විනාශකාරී මෙන්ම අවාසනාවන්ත තත්වයකි.  

                               අද බොහෝ දෙනෙක් නූතන සමාජයේ දියුණුව ගැන නොයෙක් දේ හතර වටින් ඇසුනද ලිංගික කුහකත්වයන් නම් අඩුවන බවක් පෙනෙන්නට නැත. බටහිර රටවල ලිංගික නිදහසක් මහා පරිමාණයෙන් ඇතැයි කීවද එයද සත්‍ය නොවේ. ඇත්තේ ලිංගිකත්වයම විකාරයක් වූ සමාජ පසුතලයකි. එහි ලිංගිකත්වය යන්නෙහි සැබෑ යහගුණයන් හඳුනාගැනීමට පුලුවන්කමක් නැත. වර්තමාන සමාජය හැම අතින්ම දියුණු යැයි සිතන මුලාවට නොයා මානව ඉතිහාසයේ කිසියම් අතීත අවධියක කවර ජනසමූහයක් තුල හෝ ලිංගික කුහ්කත්වයන් මත ගොඩනැගෙන දුර්වලකම් දක්නට නැති, එමෙන්ම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය හඳුනාගනිමින් එය මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට උපරිම හැකියාවක් තිබූ අවස්ථාවක් හඳුනා ගතහැකිනම්, ඒ තුලින් හෝ නිවැරදි ආදර්ශයක් වර්තමාන සමාජයට ආදේශ කරගතයුතුය. ස්ත්‍රී ලිංගිකත්වයට ගැරහීමද ඒ තුල නොතිබියයුතු වේ. ලිංගිකත්වය හා ලිංගික ජීවිත වලට පිළිගත ආචාරධර්ම අවශ්‍ය බව අනිවාර්යයෙන් පිළිගතයුතුය. එසේ වුවත් ඒ කිසිවක් ස්වභාවධර්මය ඉක්මවා යන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනි දේද නොවියයුතුයි. දුර්වලතාවයන් තේරුම් ගැනීමටත් ඒවා මගහරවාගැනීමටත් හැකියාව ඇත්නම් ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට ගරහමින් අපහාස කරන පිරිමින් වීරයන්, සුදනන් වන්නේද නැත.

Thursday, March 13, 2014

අතීසාරයට අමුඩ ගැසීම

 මේ ලිපිය ලියන්නට හිතුනේ මේ දවස් වල අන්තර්ජාලයට පැනවීමට යනවා යැයි කියන තහංචි හා ෆේස්බූක් තහනමක් ගැන ඇති වී තිබෙන කතාබහ ගැන හිත යොමු කිරීමෙන් පසුවයි. මේ සියල්ලට ආසන්න හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ ඇතිවුන සියදිවි හානි කරගැනීම් කීපයකට ෆේස්බුක් එක ගෑවී තිබීමයි. කෙසේවෙතත් ඒ සියල්ලට විසඳුම ලෙස ෆේස්බූක් තහනම අනුමත කළහැකිද? වරද ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේද නැත්නම් අපේ රටේ සමාජය තුල තිබෙන යම් යම් අඩුපාඩුද? මේ සිදුවීම් ගැන තවදුරටත් කරුනු ගෙනහැර දැක්වියයුත්තේ ෆේස්බූක් තහනමෙන් මෙයට පිළියම් සෙවීමේ අර්ථයක් නැතිකම පෙන්වා දීමටය.
              මේ අන්තර්ජාල වාරනය ගැන කතාබහ කරලියට පැමිණීමට ආසන්නතම හේතුව ලෙස හඳුනාගතහැකි පැහැදිලි සිද්ධිය වන්නේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ඉමන්දි සිසුවියගේ ෆේස්බූක් ගිනුමක් සම්බන්ධව පාසලේ විදුහල්පතිවරයා තදින් දොස් පැවරීමේ හේතුවෙන් ඇය සියදිවි හානි කරගැනීමයි. මේ ගැන මා වෙනමම ලිපියක් පලකළෙමි. එයින්ද මම පෙන්වාදුන්නේ මේ සිද්ධියේදී බරපතලම වරද කර තිබෙන්නේ ෆේස්බුක් සමාජ ජාලයවත් එහි ගිනුමක් පවත්වාගෙන ගිය සිසුවියවත් නොව මේ සිද්ධිය හමුවේ සම්ප්‍රදායික ලෙස මෝඩ වීරයෙකු වී අර සිසුවිය මරාගෙන කෑමට ගිය විදුහල්පති බවයි. අප විචාරයක් ඇතිකළයුත්තේද මේ ගැනම නොවේද?                 
                                 මේ සිදුවීම ගැන වෙබ් අඩවි ඇතුලු සෙසු ජනමාධ්‍ය මගින් විවිධ කතාබහ ඇතිවුවත් මේ තුල ඇති සැබෑ ප්‍රශ්නය ගැන බුද්ධිමත් විග්‍රහයක් ඒ කිසිවක් තුල දක්නට ලැබුණේ නැත. මේ සිද්ධිය සිදුවී සුමානයකට පමණ පසු දිනක මාහට ගුවන්විදුලි නාලිකාවක එම සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයෙකු අදහස් දක්වනු අසන්නට ලැබුණි. එහ්දී ඔහු කීවේ දරුවන් තුල අභියෝග ජය ගැනීමට හැකියාවක් නැතිකම මෙවැනි සියදිවි හානිකරගැනීම වලට මුල බවයි. එහෙත් මෙතන ඇති අභියෝගය කුමක්දැයි ඔහු කීවේ නැත. මෙහි ඇති කෙහෙල්මල් අභියෝගයක් නැත, ඇරත් මේ සිද්ධියට මුහුණදුන්නේ ගැහැනු ළමයෙකි. ඒ ගැන කතාකළ මහාචාර්යවරයා ඒ අදහස් පලකර අර විදුහල්පතිවරයාගේ ක්‍රියාව ගැන වචනයක්වත් නොකීවේය. මෙහි කතා කළයුතුම දෙය අර ගොන් වීර චරිතයක් රඟපෑමට ගිය සම්ප්‍රදායික වූ ලිංගික කුහකත්වය හිසේරුවාගත් විදුහල්පතිගේ මෝඩ හැසිරීමය. විදුහල්පතිගේ එම හැසිරීම අහේතුවකට වූවක් නොවේ. ඒ තුල තිබෙන්නේ සමාජය වසාගත් ලිංගික කුහකත්වය නම් මාරාන්තික විෂයි. මේ වස සමාජගත වන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට ගැරහීම වීරත්වයක් හා ප්‍රබුද්ධකමක් ලෙස සැලකීමට කුඩා කළ සිට කුහකකමට වන්දනාමාන කරන වැඩිහිටියන්ගෙන් ලැබෙන වැරදි අනුබලයන්ගෙනි. ලිංගික වශයෙන් පරිනත වන වයස් මට්ටමක සිටින දරුවෙකු ලිංගිකත්වයේ ස්වභාවය අනුව සිය විරුද්ධ ලිංගිකයන් ගැන දක්වන උනන්දුවත් ලිංගිකව ඔවුන් කෙරෙහි දක්වන ආකර්ශනයත් ඇතැම් කුහක වැඩිහිටියන්ට අනුව දරුවන් නරක් වීමක්ය. එමෙන්ම ඔවුන්ට අනුව එය දරුවන්ගේ ඉගෙනීමටද ප්‍රධාන බාධකයකි. කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ අර පාසල් සිසුවියගේ ෆේස්බුක් ගිනුම දැක කුලප්පු වූ විදුහල්පතිවරයාද මේ ආකාරයේම පුද්ගලයෙකි.  මේ සිදුවීමේදී අදාල සිසුවියගේ අකල් මරනයට හේතු වූ කිසිවෙක් නොකියන ඇත්ත හේතුව එයයි.
                            

  
පාසලක් තුල සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය තවත් එක් දෙයක් පමණි. කනගාටුවෙන් වුවත් කිවයුතු අනෙක් දෙය නම් සමස්ථයක් ලෙස රටේ සියලුම පාසල් වල ෆේස්බුක් සම්බන්ධ සිද්ධිම නොවුවත් මෙවැනිම තවත් දේ ප්‍රසිද්ධියේම සිදුවන බවයි. ඒවා සියදිවි හානි කරගැනීම දක්වා දුරදිග නොයන බැවින් ඒ තරම් කතාබහට ලක් නොවේ. මෙය අප විසින් අනුමත කළයුතු සමාජ තත්වයක්ද නොවෙයි. එමෙන්ම මෙය කිසිසේත් අපේ රටට අදාල සමාජයේ යහපත් ගුණාංගයක්ද නොවේ. මෙය පැහැදිලි සමාජ දුර්වලතාවයක් මත පදනම් වන්නකි. ඒ අන් කිසිවක් නොව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් නිවැරදිව පිළිගන්නට දක්වන මැලිකම නොහොත් ලිංගික කුහකත්වයයි. අපේ විචාරයට ලක් වියයුතුම දෙය වන්නේ මෙහිදී එම කුහකත්වයට සමාජය තුල බොරු වටිනාකමක් ආදේශ වී තිබෙන්නේ කෙසේද යන්නයි. 
             මේ බොරු වටිනාකම් සාවද්‍ය ලෙස බුදු දහමට ඈඳා තිබීම එක් ප්‍රධානතම හේතුවකි. එය අතීතයේ පටන් ආ දෙයකට වඩා මෑතක උත්සන්න වූවක් යැයි සිතියහැක. ඊට හේතුවනම් මේ බොරු සාරධර්මයන් පාසල් අධ්‍යාපනය හරහා වැඩිදියුණු වී තිබීමයි. මෑතක පිම්බුණු ඇතැම් ව්‍යාජ බුද්ධිමතුන් බුදු දහම තුලට ලිංගික කුහකත්වය ඇතුල් කර තිබෙන්නේ එයද වන්දනාමාන කිරීමට තරම් දෙයක් යැයි සිතමිනි. බුදු දහමේ ස්ංස්කාර ධර්මයෝ නැසෙනසුලු බවත් ඒවාට නිත්‍ය ස්වරූපයක් නැති බව හා අනිත්‍යතාවය ගැන ඉගැන්වෙයි. එවිට මිනිසුන් ගොඩනගන ලෝකයම මේ ගොඩට වැටේ. එයට ලිංගිකත්වය  අනුව සමාජයක ඇතිකරන සංස්කෘතික ගොඩනැගීම්ද අයත්ය. ගැහැනු පිරිමි ලිංගික ගැලපීම්ද මේ ධර්මතාවයටම අයත් වේ. මෙහිදී අර ව්‍යාජ බුද්ධිමතුන් මිනිසුන්ගේ ගැහැනු පිරිමි ලිංගික සබඳතා වලට අදාල ලිංගික ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුලට ලක්කළේ එහි බුදු දහමට අනුව අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන නොව තම ලිංගික කුහකත්වය මුල්කරගෙනය. එහෙත් බුදු දහමේ කිසිවිටක ගිහි සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ගැහැනු පිරිමි ලිංගික සබඳතා ඇතුලු ගැලපීම් දෙස පිළිකුලෙන් හෝ වෛරයෙන් බලන්නට උගන්වා නැත. බෞද්ධ සංස්කෘතිය තුලද පිළිගත් සම්මත ලිංගික චර්‍යා රටාවක් හා පවුල් සංස්ථාවක් තිබේ. පූජනීය ස්ථානයක් තුල ලිංගික ක්‍රියාකාරකමක් ඉස්මතු කිරීමේ යම් නොගැලපීමක් තිබේ. ඒ පංසලක් තුල වැඩ වාසය කරන්නේ ලෞකික ආශාවන් තුරන් කිරීමේ විමුක්ති මාර්ගය කරා යන පැවිදි පාර්ශවයක් වීම නිසයි. එය එසේ වූ පමණින් මුලු සමාජයේම ලිංගික ආශාවන් හා ගැහැනු පිරිමි සමාජ ගැලපීම් අනවශ්‍ය ලෙස පිළිකුල් කර ඒ කෙරෙහි වෛරයද ජනනය කරමින් පීඩා විඳියයුතු යැයි බුදුවරුන් හෝ රහතන්වහන්සේලා කිසිවෙකුත් දේශනා කර නැත. එහෙත් අපේ බෞද්ධ සමාජය තුල සිටිනා ඉහවහා ගිය මෝඩ ශ්‍රද්ධාව ඇත්තවුන් තම ලිංගික කුහකත්වය ආගමික ශ්‍රද්ධාව සමගද වැරදියට ගලපාගෙන සිටිති.

                     මෙහි ප්‍රතිඵලය ලෙස බෞද්ධ සමාජය තුල විශම ලිංගික ගැලපීම් හා ආශාවන් පිළිකුලට ලක්කර මහා ලොකු වැදගත් චරිත බවට තමන්ට පත්විය හැකියැයි සිතන පිරිසක් ඇතිවී තිබේ. මේ පිරිසෙන් ඇතමෙක් මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයක් වූ සමලිංගික චර්යාව අර තරම් ද්වේශයකින් පිළිකුල් නොකරති. තවත් සමහරෙක් එය බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියටද හරහට ගලපන්නට උත්සහ කරති.  නමුත් බුදු දහමට අනුව මේ විකුර්තිභාවයට බලපෑ පෙර කර්මය යහපත් එකක්ද අයහපත් එකක්ද යන්න නොකීමටද මේ කුහක බුද්ධිමතුන් වගබලාගන්නේ අවස්ථාවාදීවයි. මානවයා ඉතිහාසය පුරා සංස්කෘතික හර පද්ධතීන් ගොඩනගමින් ශිෂ්ඨ සම්පන්න වී ඇති බව ඇත්තකි. ප්‍රසිද්ධියේ මිනිස් ජන සමූහයක් තුල ගැහැනියක් හා පිරිමියෙකු ලිංගිකව එක් වීමේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකමක නිරත වීමේ සදාචාරාත්මක ගැටලුවක් පැහැදිලිව ඇත. එහෙත් එසේ වූ පමණින් සදාචාරය යන්න මුල් කරගෙන ලිංගිකත්වය යන්නෙහි ස්වභාවයම පිළිකුල් කර ප්‍රතික්ෂේප කළ නොහැකි වේ.
                              
  අපට සිතා බැලීමට ඇති අනෙක් කාරනේ නම් ලිංගික කුහකත්වය ඉස් මුදුනේ තබාගත් පිරිස ප්‍රභූත්වයට පත්වීම පසුපස ඇති සිද්ධිය කුමක්ද යන්නයි. මෙහිදී අප එදිනෙදා ජීවිතයේ කොතෙකුත් දැක ඇති සිද්ධියක් වන පෙම් සුව විඳින පෙම්වතුන් හා පෙම්වතියන් දැකීමෙන් කුඩා ළමුන් නරක් වන බව අඟවමින් ඇතැම් වැඩිහිටි පිරිස් පෙම්වතුන්ට ද්වේශසහගතව බැනවදින ආකාරය සලකමු.එසේ කරන කල්හි ඔවුන් වැඩිහිටියන් ලෙස තමන්ට යම් වැදගත්කමක් ඇතිකරගත හැකියැයි සිතන්නේ ලිංගිකත්වයේ ස්වභාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ලිංගික වශයෙන් එකිනෙකාට ආකර්ශනය වී සංකීර්ණ සබඳතාවයක්(ලිංගික සංසර්ගයද ඇතුලුව )ගොඩනැගෙන ආකාරය දැකීමට ඔවුන් තුල ඇති උපන් ලැජ්ජාව හේතුවෙනි. මේ ලැජ්ජාව අප කාට කාටත් විවිධාකාරයෙන් ඇත. නමුත් එය එසේ වූ පමණින් එම ලැජ්ජාසහගත බව ලිංගිකත්වයේ ස්වභාවයට වඩා වටිනා යැයි තක්සේරු කිරීමට කිසිවෙකුටත් නොහැකිය.  ඒ වෙනත් කිසිවක් නිසා නොව වැදගත් යැයි සලකන එම විලි ලැජ්ජාව ඉස් මුදුනේ තබා ගැනීමට හෝ මනුස්සයෙකු ලෙස කෙනෙක් මෙලොව එලිය දකින්නේ ඒ ලැජ්ජාව නිසාම පිළිකුල් කරන ස්වභාවධර්මයෙන් දායාද වූ ලිංගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස වන නිසයි. ඔය ටික තේරුම්ගැනීමේ නොහැකිකමට වඩා කුහකත්වයම අධි මාන්නයක් කරගත් පිරිසට ඇත්තේ ලිංගික කුහකත්වය තුලින් තම ප්‍රතිරූපය පුම්බාගතහැකිය යන වැරදි වැටහීමයි. මේ කුහකත්වයන් මදකට හෝ පැත්තකින් තබා මොහොතක් විවුර්ත භාවයකින් යුතුව මෙලෙස පෙන්වාදුන් කරුනු දෙස බැලියහැකිනම් ලිංගික කුහකත්වයට සාවද්‍ය වටිනාකමක් එක්කිරීමෙන් සමාජයට ඇතිකරන පීඩනය කොපමණදැයි සිතාගැනීම අපහසු නැත. මෙරට සමස්ථ අධ්‍යාපනය පුරාවට ඔඩු ගිය මේ කුහක ප්‍රභූත්වය පාසල් පද්ධතිය පුරාවට ඇතිකරනු ලබන්නේ මේ පීඩාවයි. ගැහැනු ළමයෙකු හා පිරිමි ළමයෙකු එකට සිටින පින්තූර දැක කුලප්පු වී යකා නැටූ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයාගේ හැසිරීම රටට ප්‍රදර්ශනය කළේත් එයම නොවේද?

               පාසල් තුල පමණක් නොව කවර අධ්‍යාපන ආයතනයක් තුල වුවද විනයක් තිබියයුතු බව පිළිගත හැක්කකි. නමුත් මේ විනයට ලිංගික කුහකත්වය අයත් නොවියයුතුය. පාසලක ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගත්තද එහිදී ඔවුන්ට ඒ ගැන අවවාද කිරීමේ පිළිවෙලක් තිබේ. ඔවුන්ට එම වයසේදී එවැනි සම්බන්ධතා පැවැත්වීම එතරම් සුදුසු නොවන බවක් පෙන්වා දෙන්නේනම් එයටද පැහැදිලි හා පිළිගතහැකි හේතු ඉදිරිපත් කරමින් එය කළයුතුය. එවැනි තත්වයකදී පාසල් සිසුන් ලිංගික වශයෙන් පරිනත අවධියක සිටියත් සමාජයේද පරිනත වීම තම ලිංගික සහකරුවන් හා සහකාරියන් සොයාගැනීමට අත්ය්‍යාවශ්‍ය බව ඔවුන්ට කාරුණිකව පැහැදිලි කිරීමේ අපහසුවක් නැත. නමුත් වෙන්නේ ඒය නොවේ. බොහෝ පාසල් වල එවැනි අවස්ථා වලදී සිසුන්ට විදුහල්පතිවරුන් ආචාර්‍යවරුන් නින්දා අපහාස කරමින් බැනවැදීම හෝ වෙනත් ආකාරයකට මානසික හින්සාවකට ලක්කිරීම සිදුවෙයි. මෙය අවාසනාවන්ත තත්වයකි.
                         පාසල් තුල සිසුන්ට ඉගැන්වීම යනු කැලෑ  සතුන් හීලෑකරන ආකාරයට කළහැක්කක් නොවේ. අනෙක ළමුන් වයසින් වැඩෙන්නේ නිකම්ම නොවේ. ඔවුන් තම ජීවිත සාර්ථක කරගැනීම උදෙසා යම් යම් අත්දැකීම් ලැබීම සිදුවියයුතුමය. එහිදී ගැහැනු හා පිරිමි වශයෙන් ළමුන් සමාජයට අවශ්‍ය ලිංගිකත්වයේ පරමාදර්ශයන් වෙන්වෙන් වශයෙන් මවුපියන් ඇතුලු වැඩිහිටියන්ගෙන් ලබාගතයුතුය. එහෙත් ඇතැම් කුහක වැඩිහිටි පිරිස් ළමුන්ට ඒ ආදර්ශය හරිහැටි ළබා නොදෙති. පාසල් ගුරු විදුහල්පතිවරුද කියන්නේ ඒ ආදර්ශයට පෙර ඉගෙනගතයුතු බවයි. එයින්ද නොනවතින විදුහල්පතිවරුන් හා ආචාර්‍යවරුන් ගැහැනු ළමුන් හා පිරිමි ළමුන්ට වෙන් වෙන්ව තම ඉදිරි පැවැත්මට අවශ්‍ය ලිංගිකත්වයේ මානසික විශේෂනයන් ඇතිකරගන්නට පාසල තුලදී කිසිදු රුකුලක් ලබා නොදෙමින්, ඇතැම් විට ඔවුන් ගොඩනගාගන්නා ස්ත්‍රී පුරුෂ භාවයේ අනන්න්‍යතාවයන් පවා නැතිකරදැමීමට කටයුතු කරන්නේ අනාගතේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියා කළයුතුයැයි බොරු පණ්ඩිතකම් කියමිනි. මේ පාසල් වල විනය කමිටු වලටත් විදුහල්පතිවරුන්ටත් අනුව ලිංගික වශයෙන් පරිනත වයස් කාණ්ඩ වල සිටින ළමුන් ගැහැනු පිරිමි වශයෙන් ආකර්ශනය වීමත් ප්‍රේම සම්බන්ධකම් ඇතිකරගැනීමත් විනය විරෝධී ක්‍රියා වන අතර මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයන් වන ගැහැනු ළමුන් පිරිමි ලිංගික ස්ව්භාවය අනුකරනය කිරීමත් පිරිමි ළමුන් ස්ත්‍රී ස්වභාවයන් වර්ධනය කරගැනීමට යෑම හා සමලිංගික චර්යාව ඔවුන්ට ඒතරම් ගැටලුවක් නැත. ඔවුන්ගේ කුහක මානසිකත්වයට අනුව විකුර්ති ලිංගික චර්යාව ප්‍රජනනයට සම්බන්ධ නැති බැවින් එය එතරම් ගනනකට නොගත්තාට ගැටලුවක් නැතිය. ෆේස්බුක් තහනමට පෙර සොයාබලා සමාජයෙන් ඉවත්කරදැමියයුතු දුර්වලතාවයන් මේවායි.
                         

                            පාසල් සිසුවියකගේ ෆේස්බුක් ගිනුමක හුටපටයක් එම සිසුවියගේ ජීවිතය බිළිගනිමින් කෙළවර වියයුතු නැත. මෙවැනි ගැටලු විසඳාගැනීමට පෙර ගැටලුවේ පසුබිම හඳුනාගතයුතු වේ. පළමුව හඳුනාගතයුත්තේ ලිංගික කුහකත්වය නම් මානසික දෝෂය සමාජයට එල්ල්ලකරන පීඩාවේ ස්වරූපයයි. එය නිවැරදිව හඳුනාගැනීමෙන් පසුව කළයුත්තේ එයට අනවශ්‍ය වැදගත්කමක් ලබාදෙමින් ඒ මත පදනම්වන තවත් බොරු සාරධර්මයන් ගොඩනැගීම නවතා දැමීමයි. ඒ වෙනුවට ස්වභාවධර්මය සමග එකට යන නිවැරදි සදාචාරයන් ලිංගිකත්වය හා සබැඳෙන පරිදි ඇතිකළයුතුය. ඇත්තෙන්ම අමුතුවෙන් ඇතිකිරීමට දෙයක් නැත. අපේ පැරණි සමාජයෙන් වුවද ගැනීමට බොහෝ ආදර්ශයන් තිබේ. අනිවාර්‍ය ලෙස ලිංගික කුහකත්වය හිස්මුදුනේ තබාගත්තවුන් ප්‍රභූත්වයේලා සැලකීමද මෙහිදී නොකළයුතුම වේ. මෙලෙස ප්‍රශ්නය හා ප්‍රශ්නය උග්‍ර අතට හරවන පසුබිම හඳුනාගෙන සමාජය පීඩාවට පත්කරන ලිංගික කුහකත්වයට ඇති ව්‍යාජ වැදගත්කම ඉවත්කර දැමීමෙන් මෙපිටට වෙනත් විසඳුම් මෙයට නැත.ඒ ටික සිදු නොවනතාක් ඉදිරියටද මෙවැනිම ෆේස්බුක් සිද්ධිම නොවුනත් පාසල් සිසුන්ගේ ජීවිත බිළිගන්න වෙනත් සිදුවීම් මීටත් වඩා දරුණු ලෙස සිදුවියහැක. ෆේස්බුක් තහනම අතීසාරයට අමුඩ ගැසීමක් වන්නේ මේ වාතාවරනය යටතේයි.    

Saturday, March 8, 2014

ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩ දුන්නොත් නරකද?

තවත් එක් ජගත් කාන්තා දිනයක් එළඹෙන අතරතුරේ කාන්තාවන් සම්බන්ධයෙන් කතාකළයුතු වැදගත් යමක් ගැන අදහස් ස්වල්පයක් මෙසේ එක්කරන්නට සිතුනි. කාන්තා අයිතීන්, කාන්තා විමුක්තිය, ස්ත්‍රී නිදහස ආදී වදන් වැකි කොතෙක් අසන්නට ලැබුනද සැබෑ ලෙසම මේවා පැනනගින්නේ කාන්තාවන් අතරින්මද යන්න ගැටලුවකි. මා එසේ කියන්නේ මේ කරුණු ගැන කාන්තාවන්ට වඩා බොහෝසෙයින් කතාකරන්නේ පිරිමින් බව හොඳාකාරව දැනගෙනයි. කාන්තාවන් ගැන පිරිමින් කතා කිරීමේ වරදක් නැතත් මෙහි විචාරයට බඳුන්වියයුතු බොහෝ දේ තිබේ. ඉන් විශේෂතම දෙය වන්නේ මෙලෙස පිරිමින් විසින් කාන්තා අයිතීන් ඇතුලු අනෙකුත් දේ ගැන කතාකිරීමට යෑමේදී ඒතුල කුහකත්වය ගැබ්වී තිබීමයි.
                      ලිංගිකත්වය කියන දේ සොබාදහමෙන් ලොවට දායාද වන්නේම ලිංගික ප්‍රජනන ක්‍රියාව ඇසුරෙන් ජීවීන්ට ස්වකීය වර්ගයා බෝකිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීම සඳහායි. එහිදීද ලිංගිකත්වය ජීවීන්ගේ පරිනාමයට අනුව බලන කළ සංකීර්ණ වී තිබෙන්නේ එකම සත්ව විශේෂය තුලද ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ආවේනික ගති ලක්ෂණයන් වර්ධනය වන ආකාරයටයි. මෙය මානව ලිංගිකත්වය සලකා බැලීමේදී තවත් ඉහල මට්ටමකින් දක්නට තිබේ. ජීව විද්‍යාත්මකව පිරිමින්ට පිහිටන්නේ සාපේක්ෂව දැඩි ශක්තිමත් ශරීර ලක්ෂණය. කායිකවශයෙන් හා චර්යාත්මකව පිරිමින් සාපේක්ෂව වඩා ක්‍රියාකාරීය. එමෙන්ම මනෝවිද්‍යාත්මක වශයෙන් පිරිමින් සාපේක්ෂව තරමක් සටන්කාමීය. මේ අයුරින්ම මීට අනුරූප ලෙස කාන්තාවන්ට පිහිටන්නේ පෙර සඳහන් කළ පිරිමි ලක්ෂණයන්ට විරුද්ධ ලක්ෂණ වේ. එලෙස එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ගැහැනු හා පිරිමි ලිංගිකත්වයන් නිර්මාණය වී තිබෙන්නේ එකිනෙකා ගේ ලිංගික පෙරැත්ත හා ආශාවන් එකිනෙකට ගැලපෙන ලෙස වේ. මිනිසුන් විසින් ගොඩනගන සංස්කෘතික නිර්මාණයන් සියල්ලකම වාගේ මේ සිද්ධිය අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. ලිංගික පෙරැත්ත හා ආශාවන් ස්වභාවිකව පුරුෂයාට මෙන්ම ඊට අනුරූප වශයෙන් එයටම ගැලපෙන ලෙස ස්තියටද එක ලෙස සොබාදහමෙන් උරුම වේ. මේ කාරනය කිසි සේත් සැඟවිය නොහැක. 
           ඇත්තෙන්ම ඉහතින් විස්තර කළ කරුණු තව දුරටත් සලකා බලන්නේනම් කාන්තාවන් හා පිරිමින් එක්ව මිනිස් ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය යම් යම් දේ නිර්මාණය කරන්නේද එකිනෙකාගේ සුවිශේෂී ලිංගික අනන්‍යතාවයන් වර්ධනය වන හා ලිංගික ආශාවේ ස්වරූපයන් එකට ගැලපෙන ලෙසයි. ලිංගික පෙරැත්ත හා ආශාවන් පිරිමින්ට පමණක් ඇති දේ නොවේ. එ ය ඒ ආකාරයටම ඊට ගැලපීමක් ඇතිවන පරිදි කාන්තාවන්ටද ස්වභාවිකවම ලැබෙන්නේ ලිංගිකත්ව්යේ ස්වභාවයට අනුව පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි නිසි අනුකූලතාවය දැක්වීමටය. සාමාන්‍ය වශයෙන් ඕනෑම සමාජ පසුබිමක පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව විශේෂිත ගති ලක්ෂණයන් වැඩි දියුණු කරගැනීමට උත්සාහ කරන්නේ මේ කාරනයද මුල්කරගෙනයි. එය කිසිසේත් ස්වභාවිකත්වයට පටහැනි දෙයක්ද නොවේ. මේ ස්වභාවයට අනුකූලත්වයක් නොදක්වන පිරිසක්ද නැත්තේම නැත. ස්ත්‍රී පුරුෂ ලිංගික ස්වරූප්යන්හි පෙර විස්තර කළ දෙයින් වෙනස් වන ඊට ප්‍රතිවිරුද්ධ වූ හැසිරීම් ඇති පිරිස් ඇත්තෙන්ම සිටිති. එවැනි පිරිස් සැබෑ ලෙස බිහිවන්නේ ලිංගික කුහකත්වය මුල්කොටගෙන ඇතිවන නොයෙක් මනුස්ස ක්‍රියාකාරකම් හා ඒ ඔස්සේම ගොඩනැගෙන සමාජ දුර්වලකම් වල ප්‍රතිඵලයක් ලෙසයි. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට පටහැනි දේ දැකීමේ කුහක ආශාවන්ද ඇතැම් පිරිස් වලට නැතුවා නොවේ. කාන්තා නිදහස කාන්තාවන් අතර සිටින පිරිමි හැසිරීමක් ඇති අයගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් ඇතැම් පිරිමින් විග්‍රහ කරන්නට යන්නේ එක් පසෙකින් මේ හේතුව නිසාය.   

 
                         අද නොයෙක් විදිහට දස දෙසින් කාන්තාවන්ට වන අසාධාරනකම් හා ඊට පිළියම් ගැන අසන්නට ලැබේ. එහෙත් මේ ගැන කතා කරන පිරිස් වල අවංක භාවය හා කාන්තාවන්ට සිදුවන සැබෑ අසාධාරනය හඳුනාගැනීමේ හැකියාව ගැනනම් විශාල ගැටලුවක් ඇත. ඒ අන් කිසිවක් නොව ඔවුන්ද තම කුහක මානසිකත්වය මතම පිහිටා ප්‍රශ්න විග්‍රහ කිරීමයි. මෙහිදීද කුහක පිරිමින් කොට්ඨාශයක් පෙරමුණ ගෙන ක්‍රියා කිරීම තුල අවුල අවුලෙන්ද අවුලකට පත්කරන්නේ නිරායාසයෙනි. කුහකත්වයෙන් අන්ධ වූ කළ තමන් විසින් තමන්වම රවටාගනිමින් තම ලිංගිකත්වයද බාල්දු කරගන්නා පිරිමින් තම පුරුෂ ලිංගික ක්‍රියාකාරීත්වයටම අනුරූප ස්ත්‍රී ලිංගිකත්වයට ගරුකරයිද? සැබෑ ප්‍රශ්නය පැනනගින්නේද මෙතැනින්මය.  කාන්තා නිදහස හා කාන්තා අයිතීන් ගැන කතා කරන ඇතැම් පිරිමින්ට අනුව කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නොවන අතර කාන්තාවන් සිටින්නේද දරුවන් වැදීම සඳහා නොවෙති. ඔවුන් තුල මේ විකාර අදහස ජනනය වන්නේ ඔවුන් තමන්ට ස්වභාවිකව ලැබෙන ලිංගිකත්වයද ඇතුලුව  සමස්ථ පිරිමි ලිංගික ස්වභාවය ම කුහක ලෙස බාල්දු කිරීමත් ඒ අනුව ඔවුන් පිරිමි ලිංගිකත්වය හා අනුරූප වන ස්ත්‍රී ලිංගිකත්වයද එලෙසම තවත් බාල්දු කිරීමත් යන සංසිද්ධිය මුල්කරගෙනයි. මේ කුහක මිනිසුන්ට අනුව කාන්තාවන් හැකිතාක් ඔවුන්ගේ ගැහැනුකම අත්හැර දමා පිරිමින් මෙන් පිරිමිකම ප්‍රගුණ කරහතයුතුය. ඔවුන් මේ අත්තනෝමතික තීන්දුව මත එල්බගන්නේ අඩුම තරමින් කාන්තාවන්ට තම ස්වභාවික ලිංගිකත්වය පිරිමි ලිංගිකත්වයෙන් වෙන්කොට හඳුනාගෙන පිරිමි ලිංගික ස්වභාවයට සමගාමීව ස්ත්‍රී අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට  නිදහසක්වත් තිබියයුතුයැයි නොසිතමිනි. ඔවුන්ට අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය මැනියයුත්තේද කාන්තාවන්ට පිරිමින් කරන  සියලු දේ ඒ ආකාරයෙන් කිරීමට තිබෙන හැකියාව මතය. එපමණක්ද නොවේ, ඔවුන් සිතන අයුරින් කාන්තාවන්ට නිදහස තිබියයුත්තේද එසේ පිරිමින් මෙන් හැසිරීමටය. ඒ අයුරින් ඔවුන්ට අනුව කාන්තා අයිතීන් තිබියයුත්තේද එසේ මනෝ විද්‍යාත්මක බෙදීම් නොසලකා කාන්තාවන්ට පිරිමින් කරන දේ කිසිදු විචාරයකින් තොරව කිරීමටය. නමුත් කාන්තාවන් තමන්ටම ආවේනික කිරියාකාරකම් පද්ධතියක් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීයව ගොඩනගාගැනීම මේ කුහක පිරිමින්ට අනුව පුරුෂාධිපත්‍යට යටවීම හා සම්ප්‍රදායික ලෙස පුරුෂයා යටතේ වහලියන් වීමයි. නමුත් ඔවුන්ගේ කුහක මොළයට අනුවනම් ඔවුන් විසින් කාන්තාවන් ඊට එරෙහිව මෙහෙයවීම පුරුෂාධිපත්‍ය නොවේ. තවත් දෙයක්නම් මේ කුහක පිරිමින් තම ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට හැකිතාක් ගැරහීමත් පුරුෂයින් මෙන් සමාජයේ ක්‍රියාකරමින් පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීමට යන කාන්තා චරිත වලට වන්දනාමාන කිරීමත්ය.            

                               මේ විකාර දෙස බැලීමේදී අපට තේරුම්යන එකම දෙයනම් කාන්තාවන්ට නැතිකර දමා තිබෙන්නේ කාන්තාවන් හැටියට ජීවත් වීමේ නිදහස හා අයිතියම බවයි. ඒ ටික කරනුලබන්නේද කුහක පිරිමින් කොට්ඨාශයයි. කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් කළයුත්තේද කුහක පිරිමින්ට සමාජයේ ඉහල තත්වයන් ලබා නොදී, එලෙසම ඔවුන්ගේ කුහකත්වයන්ටද බොරු වැදගත්කමක් ඇති නොකර ලිංගික කුහකත්වය යන ධූලක විෂබීජයම සමාජයෙන් තුරන් කිරීමයි. ඉන් අනතුරුව ස්වභාවික පිරිමි ලිංගිකත්වයේ සියලු සාධකයන්ට අනුරූප වන සමස්ථ ස්ත්‍රී ලිංගිකත්වයම නිවැරදිව සමාජය තුල පිළිගැනීම කළයුතුය.   ඒ වෙනුවට කළයුත්තේ කාන්තාවන්ට ස්වභාවික ලෙස ලැබෙන ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ලිංගික ආශාවන්හි ස්වභාවයද ඇතුලුවම සමස්ථ ස්ත්‍රීත්වයම හරි හැටි පිළිගෙන ඊට නිසි ගෞරවයක් දැක්වීමයි. මවුවරුන් ගැනද අප බොරුවට කතා නොකළයුතුය. මාතෘත්වය පිළිගන්නේනම් ස්ත්‍රී ලිංගික ස්වභාවය ඊට පෙර හරිහැටි පිළිගතයුතුය. ඒ මක්නිසාද කියා කියන්නේනම් කාන්තාවන්ට දරුවන් හැදීමට අවශ්‍ය ශාරීරික හා මානසික පසුබිම සැකසෙන්නේ පිරිමියෙකු සමග ලිංගික ක්‍රියාවක නිරතවීමට අවශ්‍ය ලිංගික පෙරැත්ත හා ස්වභාවිකව පිහිටන ලිංගික ලක්ෂණ වලට අනුවයි. අප කුහකකම් පසෙක තබා පිළිගතයුතු වැදගත්ම දෙයද එයම වේ. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කුහකත්වය මුල් කරගෙන බලෙන් වෙනස් කිරීමට යෑම වෙනුවට එය හරිහැටි තේරුම්ගෙන ඒ සමග එකට ජීවත්වීමට කාටත් හැකිනම් මේ පැටලිලි කිසිවක් නැත.  සැබෑ ලෙස ගත්කළ හැඟීම් දැනීම් ඇති ඉහමොළයක් තිබෙන කුහකයන් නොවන කිසිදු පිරිමියෙකුට තම පුරුෂභාවයට අනුරූපවන ස්ත්‍රී ස්වභාවයට ගැරහීමටත් එය හෙලාදැකීමටත් පුලුවන්කමක් නැත. කෙටියෙන් කිවහොත් ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩක් දී ඇය රැකබලාගැනීමට පිටකොන්දක් ඇති කුහකයන් නොවන පිරිමින් කවුරුත් වගබලාගතයුතුය.